Home » සරත් කුරේ

සරත් කුරේ

by sachintha
April 17, 2024 1:25 am 0 comment

එය එක්දහස් නවසිය අනූපහේ අගෝස්තුවේ දීප්තිමත් දිනයකි. ග්‍රීෂ්ම ඍතුවේ තවත් උණුසුම් උදෑසනක් ආරම්භ වී තිබිණි. කොළඹ කාර්යබහුල බව තහවුරු කරමින් හිරු රැස් වේගයෙන් පැතිර යයි. නගරයේ හදවත බඳු, කොටුව, පිටකොටුව, මරදාන ජනීජනයාගෙන් පිරී යමින් තිබිණි. මේ අතර කිසිදු කලබලයකින් තොරව ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල ප්‍රවේශයෙන් ආයතනයට පිවිසි කුඩා ශරීරයක් හිමි තැනැත්තෙක් පළමු මහලේ කොරිඩෝව දිගේ ඇවිද යමින් සිටියේය.

ඔහුගේ කාලවර්ණ බොකුටු කොණ්ඩය නීරෝගි ලෙස හොඳින් වැවී තිබේ. සම දීප්තිමත්ය. අත-පය කෙටිය. කොරිඩෝවේ යනෙන සෙසු තැනැත්තෝ ‘ගුඩ් මෝනින්’ කියා ඔහුට ඉඩ දී අයින් වෙති. මේ දර්ශනය දකින කෙ‍ෙනකුට දැනී යන්නේ මේ නම් සැලකිය යුතු උසස් නිලධාරියකු බවයි.

හෙතෙම කොරිඩෝවේ කෙළවර තිබූ නිල කාමරයට වැදී දොර වසාගත්තේය. ඉනික්බිති රොයිටර් වාර්තා තොගයක් ගෙන නිරීක්ෂණය කරන්න පටන් ගත්තේය. ඔහු වනාහි එවකට දිනමිණ කර්තෘවරයා වූ සරත් කුරේ මහතාය. සිංහල පත්තර කලාවේ මඟ ලකුණක් තැබූ සරත් කුරේ මහතා මීට දින කිහිපයකට ඉහතදී සිය ජීවිතයට සමු දුන්නේය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූහතරකි.

සරත් කුරේ මහතාගේ වෘත්තීය ජීවිතය දෙස ආපසු හැරී බලන විට ඔහු භූමිකා කිහිපයක් නියෝජනය කළ බව කිව යුතුය.

(I) කර්තෘ පදවිය

(II) විදෙස් විත්ති විචාරය

(III) දේශීය පුවත් විදේශවලට වාර්තා කිරීම

ඉහත ක්ෂේත්‍ර තුනෙහිම ප්‍රවීණයකු ලෙස සරත් කුරේ මහතාට ගෞරවනීය ස්ථානයක් තිබිණි.

කුරේ මහතා පළමුව දකුණු ආසියාතික රටවලටද, මැදපෙරදිග රටවලටද ප්‍රවෘත්ති සැපයුවේය. ඉරාකය, ඉරානය, සවුදි අරාබිය, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, භූතානය ඔහු ප්‍රවෘත්ති සැපයූ පළමු රටවල්ය. පසුව වියට්නාමය, කියුබාව, අමෙරිකාව, කැනඩාව යන රටවලට ප්‍රවෘත්ති සැපයීය. කුරේ මහතා මේ සෑම රටකම පාහේ සංචාරය කළේය. භූතාන රජය වරෙක ඔහුට සහ පවුලේ උදවියට සිය රාජ්‍යයේ සංචාරය සඳහා විශේෂ අවස්ථාවක් සලසා දුන්නේය. ඔහු සිය ආදරණීය බිරියද කැටුව එහි මාස ගණනක සංචාරයක යෙදුණේය.

සරත් මහතා කිසිදු බල කඳවුරක නියෝජිතයෙක් වූයේ නැත. ඔහු ස්වාධීන වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය; කිව යුත්ත ඉතා නිවැරදිව පෙන්වා දුන්නේය. ඔහු හොඳ විචාරකයෙකි; සාක්ෂි සහිතව කරුණු දක්වන හා මතවාද ඉදිරිපත් කරන විශ්ලේෂකයෙකි. ඔහු නිතර සිහිපත් කළ කරුණක් වෙයි. එනම්: හොඳ පත්තරකාරයා අන්ත දෙකක් අත්හළ යුතු බවයි. පළමු අන්තය වන්නේ ‘ඕවර් රයිටින්’ය (ඕවර් රයිටින් යනු අනවශ්‍ය වග විස්තරවලින් කොපිය පුරවා තිබීමය). අනෙක ‘ලෝවර් රයිටින්’ය (එනම්: කොපියට අවශ්‍ය තොරතුරු හා සාධක නැතිකමය). මේ අන්ත දෙක හොඳින් වටහා ගන්නා රචකයා හොඳ සංස්කාරකයෙක්ද වන්නේය.

සරත් කුරේ මහතාගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන භූමිකා දෙක වන්නේ කර්තෘ පදවිය හා විදෙස් විත්ති විචාරකයා භූමිකාවයි. ඔහු කර්තෘ භූමිකාවට ප්‍රවේශ වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ‘මවුබිම’ පත්තරයෙනි. එහි නියෝජ්‍ය කර්තෘ පදවිය සරත් මහතාට හිමි විය. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වූ ‘දිනකර’ පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා විය. ඊටත් පසුව එක්දහස් නවසිය අනූහතරේදී ‘දිනමිණ’ පත්තරයේ ප්‍රධාන කර්තෘ පදවිය ඉසිලීය. සරත් මහතා කර්තෘවරයකු වශයෙන් සිය ආධිපත්‍යය පත්තරය පුරා පවත්වාගෙන ගියේය. ඔහු තමාට අවශ්‍ය පරිදි පත්තරය පවත්වාගෙන ගිය අතර බලපෑම්වලට යටත් වූයේ නැත.

පත්තර කර්තෘ හොඳ ලියන්නකු නොව, සාර්ථක කළමනාකරුවකු විය යුතු බව ඔහු විශ්වාස කළේය. ඒ අනුව ඔහු නිවැරදිම තැනැත්තා තෝරාගෙන වැඩ භාර දුන්නේය. දක්ෂයන් හඳුනාගැනීමේ හොඳ ඉවක් සරත් කුරේ මහතාට තිබිණි. ඔහු දේශපාලන භේද නොසලකා දක්ෂයාට හිමි තැන දීමට ක්‍රියා කළේය.

පුවත්පත් කතුවරයා සෑම විෂයයක්ම උඩින් පල්ලෙන් හෝ අතගා තිබිය යුතු යැයි සරත් කුරේ නිතර කියයි. එය ඉතා නිවැරදි කියමනකි. වාර්තාකරුවන් නඟන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය නොහැකි නම්, ඔහුට හෝ ඇයට හෝ සාර්ථක කතුවරයකු විය නොහැකිය. කුරේ මහතා කලා විචාරකයකු මෙන්ම ගීත රචකයකු ලෙසද යම් සටහනක් තබා ඇත. එහෙත් එකී අංශවල කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත.

සරත් කුරේ සාර්ථක පවුල් ජීවිතයකට හිමිකම් කී පත්තරකාරයෙකි. ඔහුගේ බිරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස සේවය කළාය. එකම දියණිය විදේශගතව සිටින්නීය. ටික කාලයක් අසනීපව සිටි සරත් මහතා හැකි සෑම විටම සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වීමට උත්සාහ කළේය. ඔහුගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද ආදර්ශවත්ය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT