Home » සංචාරකයන්ට විකුණන්න දුන්හිඳ රක්ෂිතයේ කසිප්පු පෙරා මාට්ටු

සංචාරකයන්ට විකුණන්න දුන්හිඳ රක්ෂිතයේ කසිප්පු පෙරා මාට්ටු

by sachintha
February 7, 2024 1:36 am 0 comment

දුන්හිඳ ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා හොර රහසේ විකිණීමට රක්ෂිතයේ රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පෙරේදා (5) බැරල් හයක්, දඟරයක්, ගෝඩා මිලිලීටර් 780,000ක් සමඟ සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පැවසීය.

බදුල්ල තෙල්බැද්ද වත්තේ කංකානම්ලැයිම පදිංචි 24 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. දුන්හිඳ රක්ෂිතයේ හොර රහසේ මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කර ඇති අතර, වැටලීම සිදු කරන විටත් සැකකරු මත්පැන් නිෂ්පාදන ක්‍රියාවේ නිරතව සිටි බව පොලිසිය සඳහන් කළේය. දුන්හිඳ නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා මෙම පුද්ගලයා මෙම නීති විරෝධි මත්පැන් විකුණා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චාමින්ද, පොලිස් සැරයන් 54100 තිලකරත්න, 46592 සුජීව, 74503 සමීර, 85557 වීරසිංහ යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් මත්පැන් තොගය උපකරණ සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT