Saturday, April 27, 2024
Home » ජනතාවගේ ජීවන රිද්මයට උචිත ආර්ථික මාදිලියකට ගියොත් ගොඩ යා හැකියි

ජනතාවගේ ජීවන රිද්මයට උචිත ආර්ථික මාදිලියකට ගියොත් ගොඩ යා හැකියි

by sachintha
March 27, 2024 2:52 am 0 comment

යම් රටක හෝ රාජ්‍යයක ආර්ථික මොඩලයේ හැඩය එකී රාජ්‍යයේ සියලුම අංශ කෙරෙහි ඍජු බලපෑම් සිදු කරන්නට සමත් වෙයි. ඒ අනුව ආර්ථික වශයෙන් අපට වැරදුණේ කොතැන ද? අපි යළි නැඟී සිටින්නට නම් කුමක් කළ යුතු ද? න්‍යෂ්ටික අවි බලය යම් රටක් පෙන්නුව හොත් එය අපට කුමනාකාරයේ බලපෑමක් සිදු කරයි ද යනාදී කරුණු කාරණා සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක සහ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක සමඟ අප කළ සාකච්ජාව මෙසේ ගෙන හැර දක්වමු.

ආර්ථික අර්බුදය දවසින් දෙකෙන් ඇති වුණු දෙයක් නෙමෙයි

ආදායම් එන්න නම් නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඕනෑ

ලෝකයේ බලශක්ති හිඟය අපට බරපතළ ගැටලුවක්

ණය උගුලෙන් ගැලවෙන්නට මේ යන ගමන් මඟ හරිද? ඒ හැර තවත් විකල්ප තිබෙනවාද?

දේශීය සහ විදේශීය විවිධ බලවේග විසින් මේ රට IMF එකෙන් ණය නොගෙන බැරි තත්ත්වයකට පත් කළා. එහෙම කියන්න හේතු සාධක සහ සාක්ෂි තිබෙනවා. මේ තිබෙන අර්බුදය දවසින් දෙකෙන් ඇතිවුණ දෙයක් නෙමෙයි. සමහර පිරිස් පෙන්නුම් කරන්න හදනවා මේක පසුගිය පාලන සමයේදී ඇති වුණ අර්බුදයක් කියලා. නමුත් ඒක එහෙම නොවෙයි. සෑම ආණ්ඩු කාලයකම සහ විශේෂයෙන්ම 1977 න් පසුව මේ රටේ ආණ්ඩු බොහෝමයක් දූෂිතයි. මේක දිගට ආපු ගමනක්. ප්‍රධානතම හේතුව ලෙස මම දකින්නෙ අපි යටත් විජිතයක් වශයෙන් පැවත නිදහස ලැබීමෙන් පසුව මේ රටේ සම්පත් විභවතා හඳුනගෙන, මේ රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ ජනතාවගේ ජීවන මට්ටම තේරුම් අරන්, අපට ගැළපෙන, අපට දරා ගන්න පුළුවන් ආර්ථික මාදිලියකට ගියෙ නැහැ.

අපේ රටේ උගත්තු, පාලකයො හැමදෙනාම සංවර්ධනය කියන්නෙ අ‍ෙමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බටහිර යුරෝපීය රටවල් අත් කරගත් සංවර්ධන මාදිලිය තමයි එකම සංවර්ධන මාදිලිය කියලා විශ්වාස කළා. ඒ රටවල් හරිම ඉහළ ආර්ථික වර්ධන මට්ටමකයි ඉන්නෙ. උදාහරණයක් විදියට අ‍ෙමරිකාවේ ඒක පුද්ගල ආදායම දළ වශයෙන් ඩොලර් 80000 කටත් වැඩියි. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අ‍ෙමරිකාවෙ ජනතාව හැමෝටම ඒ ගාණ ලැබෙනවා කියලා. නමුත් ඒකෙන් පෙන්නුම් කරනවා එයාලගෙ ආර්ථිකය ශක්තිමත් කියලා. මේ මොහොතෙත් ලෝකෙ බලවත්ම ආර්ථිකයක් අ‍ෙමරිකා එක්සත් ජනපදයට තිබෙන්නෙ. ඒ ආර්ථිකයේ වාර්ෂික වටිනාකම 2022 අවුරුද්දෙ ජුනි මාසයේ ගත්තත් ඩොලර් ට්‍රිලියන 24ක් වෙනවා. ඒ වාර්ෂික ආර්ථික උත්පාදනයයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ එකතු කරන ලද මුදල් වටිනාකම ඒ කියන්නෙ. එහෙම වුණත් අපි තේරුම් ගන්න ඕනෙ ඒ අය එතනට ආවෙ කොහොමද කියලා. ඒ රටවල් ඒ ආර්ථික වර්ධනය අත් කර ගත්තේ තමන්ගේ රටවල්වල සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පමණක් නොවෙයි. විශාල වශයෙන් අනුකම්පා විරහිත ලෙස යටත් විජිතවල සහ තුන්වන ලෝකයේ රටවල්වල සම්පත් කොල්ලකා ගැනීමෙන් සහ සම්පත් පැහැර ගැනීමෙනුයි.

ඒ දේවල් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. නිදහස ලැබුණම අපි මොකද්ද කළේ? බටහිර ජාතීන් සෙසු රටවල් ආක්‍රමණය කරලා යටත් කරගෙන, ඒ රටවල සම්පත් කොල්ල කා ගෙන, සමහර විට ඒ රටවල ජනතාව සමූල ඝාතනය කරලා පැමිණි තැනට එන්න එහෙම මුකුත්ම නැතිව අපි උත්සහ කරනවා. එතකොට ඒ දේ වරදිනවා. කැනඩාව, අ‍ෙමරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, තස්මේනියාව මීට අවුරුදු 300 කට කලින් සුදු හමක් තිබෙන, ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සු හිටියෙ නැහැ. ඒ රටවල් ඒ තැනට ආවෙ ඉහත සඳහන් කරපු විදියටයි. මගේ තර්කය වෙන්නෙ වෙනත් රටක ධනය පැහැර ගන්න එහෙම කිසිම හැකියාවක් නැතුව අපි උත්සහ කරනවා ඒ රටවල ආර්ථික මාදිලිය මෙහෙ පැළ කරන්න. ආදායම් එන්න නම් නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඕනෙ. විනිමය එන්න විදි දෙකක් තිබෙනවා. එන්න සහ තියා ගන්න. එකක් අපි භාණ්ඩ හා සේවා අපනයනය කරන්න ඕනෙ. අපි අපිට ගැළපෙන, අපේ සම්පත් විභවතාව අනුව නඩත්තු කරන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් ආර්ථික මාදිලියක් සකස් කරනවා වෙනුවට බටහිර රටවල් අත්කර ගත්ත ආර්ථික වෘද්ධිය ඊට අවශ්‍ය පදනම නැතිව මිරිඟුවක් පස්සෙ දිව ගියා. ඒ නිසා ඒ මිරිඟුවේදී අපි වැටුණා.

අස්වැසුම වැනි සහන ලබා දෙන්නේ ඡන්දය ඉල්ලක කර ගෙන යැයි කෙනෙකුට කිව හැකියි. නැත්නම් එය IMF උපදෙස් මතම ජනතාව නඟා සිටුවීමට කරන ක්‍රියා පිළිවෙතක් ද?

IMF හදලා තිබෙන්නේ එක කාරණයක් නම් ලෝකයේ ධනවත් රටවල් ලෝකය මත පවත්වාගෙන යන ආර්ථික සහ වෙ‍ෙළඳ ආධිපත්‍යය තහවුරු කරලා පවත්වාගෙන යාමටයි. අනෙක් කාරණය නම් ලෝකයේ ධනවත් රටවලට රටවල් සතු අතිරික්ත ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට වෙ‍ෙළඳපොළ සොයා දීම සඳහායි. ඒකෙදි ඔවුන් අපේ වගේ පරිධියේ තිබෙන රටවලට ආර්ථිකය සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියා ගන්න උදව් කරනවා. නැත්නම් අපේ ආර්ථික ක්‍රියාකාරකම් නතර වෙනවනෙ. ඒ තේරුමින් තමයි එයාලා උදව් කරන්නෙ. අපි ලෝක දේශපාලනයේ යථාර්ථය තේරුම් අරගෙන IMF එකට යන්න. මම දකින්නෙ අස්වැසුම පීඩාවෙන් සිටින මිනිස්සුන්ට යම් හෝ අස්වැසුමක් වෙනවා කියලයි. මෙවැනි පරිසරයකදී අස්වැසුම තිබෙන එක ඉතාම දිළිඳු මිනිසුන්ට ලොකු අස්වැසුමක්. IMF එක හොඳින්ම දන්නවා IMF කොන්දේසි ක්‍රියාත්මක කරන විට සාමාන්‍යය ජනයාට රිදෙනවා කියලා. ඒ රිදෙන මිනිස්සුන්ව අස්වස්සන්න තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නෙ.

තම රාජ්‍යය අවධානමට ලක් වුවහොත් න්‍යෂ්ටික අවි බලය පෙන්වන බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එය ආසියානුවන් ලෙස අපට බලපාන්නේ කොහොමද?

රුසියාව යුක්රේනයට කළ පහරදීම නිසා ලෝක ආර්ථිකයේ බලවත් පසු බැසීමක් සහ හානියක් සිදු වුණා. භාණ්ඩ මිල නැගීමෙන් සහ තෙල් මිල නැගීමෙන් තෙල් ආනයනය කරන්න බැරි වීම වගේ කරුණු හේතුවෙන්. 2022 වසරේ අරගලය පැවති සමයේදී ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් ගන්න තිබුණා. ගත්තා නම් ඒ ගැටලුව නතර කර ගන්න තිබුණා. නමුත් තෙල් ගන්න බැරි වුණේ රුසියාව යුක්රේනයට කරපු ආක්‍රමණය නිසා අ‍ෙමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීම හේතුවෙනුයි. මේ යුද්ධයට දැන් අවුරුදු දෙකක් ගත වෙලා තිබෙන්නෙ. ඒ අතර රුසියාව ඇතුළෙ විශාල මිනිස් ඝාතන සිදු වෙනවා. ඒ ඇතුළෙ රුසියාව නමැති සුවිශාල රාජ්‍ය දුබල කිරීමේ ව්‍යායාමයක් තිබෙනවා. ඒ දුබල කිරීමේ ව්‍යායාමයේදී රුසියාවට විශාල හානියක් සිදු වෙනවා නම් අවසාන මොහොතෙදි රුසියාව න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න පුළුවන්. වැඩිපුරම න්‍යෂ්ටික ආයුධ තිබෙන්නෙ අ‍ෙමරිකාවට සහ රුසියාවටයි. ඒවා ඕනෑම වෙලාවක පහර දීම සඳහා සූදානම් කරලයි තිබෙන්නෙ. රුසියාව යම් හෙයකින් න්‍යෂ්ටික ප්‍රහාරයකට ගියොත් ඒක සීමා සහිත වෙන එකක් නැහැ. සියලු පාර්ශ්ව න්‍යෂ්ටික අවි භාවිත කරන යුද්ධයක් ආවොත් එහි ප්‍රතිඵලය වන්නේ පෘථිවිය මත මිනිස් සංහතියේ පැවැත්මේ අවසානය වීමයි.

ප්‍රධාන තෙල් සැපයුම් රටවල් වන රුසියාව සහ යුක්‍රේනය වැනි රටවල් තම තෙල් සැපයුම් අඩාළ කිරීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද?

අද අපි මේ ජීවත් වන ලෝකෙ කාර්මික ශිෂ්ටාචාරයක්නෙ තිබෙන්නෙ. මේ කාර්මික ශිෂ්ටාචාරය දුවන්න බලශක්තිය ඕනෙ. පොසිල ඉන්ධන ඛනිජ තෙල් තමයි නූතන යුගයේ ප්‍රධානතම බලශක්ති ප්‍රභවය වන්නෙ. කාර්මික නිෂ්පාදනයේදී අවශ්‍ය බලශක්තියෙන් 80% ක් පමණ ඛනිජ තෙල්වලින් එන්නෙ. ප්‍රවාහනයේදී අවශ්‍ය බලශක්තියෙන් 90% ක් ඛනිජ තෙල්වලින් එන්නෙ. ඛනිජ තෙල් තිබෙන්නෙ ලෝකයේ බොහොම සුළු සංඛ්‍යාවක විතරයි. ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් නිෂ්පාදන රටක් තමයි රුසියාව කියන්නෙ. රුසියාව මේ කරන යුද්ධය නිසා ඒ අවට මුහුදු තීරයේ නැව් ගමනාගමනයට බාධා පැමිණිලා තිබෙනවා. ඒක ලෝකයේ තෙල් වෙ‍ෙළඳපොළට පීඩනයක් ඇති කරනවා. තෙල් මිල ඉහළ යනවා. තෙල් කඳුලක්වත් නැති ශ්‍රී ලංකාව, පකිස්ථානය, භූතානය, මාලදිවයින වගේ රටවල්වලට මේක ලොකු ආර්ථික පීඩාවක් සහ ලොකු තර්ජනයක් වෙනවා. ආර්ථිකය හැකිළෙනවා, රැකියා අහිමි වෙනවා, මිනිස්සුන්ගෙ ජීවන මට්ටම පහළ යනවා, ආයෝජන ඉඩ ප්‍රස්තා නැති වෙනවා සහ ඉතුරුම් කිරීම් වගේ දේවල් පිරිහෙනවා. හැම පැත්තෙන්ම මේක අපේ රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරන සංසිද්ධියක් වෙනවා.

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවටත් බලශක්ති හිඟයකට මුහුණ දීමට සිදු වෙයිද?

බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. දැනටමත් ලෝකයේ බලශක්ති හිඟයක් තිබෙනවා. ලෝකයේ නිෂ්පාදනය කරන බල්ශක්ති ප්‍රමාණයෙන් 50% කටත් වැඩියෙන් ලෝකයේ ධනවත් රටවල් තමයි පරිභෝජනය කරන්නෙ. එවැනි රටවල් අතළොස්සයි තිබෙන්නෙ. අපේ වගේ රටවල බරපතළ බලශක්ති ගැටලුවක් තිබෙනවා. ඒ නිසා තමයි අපි විදුලි බිලට මේ වගේ ලොකු මුදලක් ගෙවන්නෙ. තෙල් ආනයනය සඳහා විශාල මුදලක් ගෙවන්න වෙනවා. මේ කාර්මික ශිෂ්ටාචාරයේදී ඒක නැතුවම බැහැ.

සූවස් ඇළ ආශ්‍රිතව හට ගෙන තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයට කුමනාකාරයේ බලපෑමක් ඇති කරාවිද?

එය අනිවාර්යයෙන්ම බලපානවා. මේ සමස්ත ගැටුම පිටුපසම මම මුලින් කියපු සාධකය තමයි තිබෙන්නෙ. අ‍ෙමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් වන ලෝකයේ බලවත් රටවල් සමඟ මිත්‍ර පාර්ශ්වයක් ලෙස ක්‍රියා කරන ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව වගේ රටවල් සහ තවත් පසෙකින් සිටිනවා චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව වගේ රටවල්. ඒකෙදි ඉන්දියාව වැඩිපුර සිටින්නේ බටහිර රටවල් සමඟයි. මේ බල කේන්ද්‍ර අතර තමන්ගේ ආර්ථික ශක්තිය පවත්වා ගැනීම සහ ව්‍යාප්ත කිරීම සඳහා අරගලයක් සහ තරඟයක් තිබෙනවා. ඒ තරඟයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මැදපෙරදිග යුද්ධය මේ විදියට යන්නෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි රතු මුහුදේ මධ්‍යධරණී මුහුදේ නැව් ගමනාගමනයට බාධා කරන හූති ප්‍රහාර ආරම්භ වෙලා තිබෙන්නෙ. ඒවා තනිව අරන් අපිට හඳුනා ගන්න බැහැ. සමස්ත චිත්‍රය ඇතුළෙයි අපි මේ ප්‍රශ්නය හඳුනා ගන්න අවශ්‍ය වෙන්නෙ.

නෙත්මි පූජනී රත්නායක

ජායාරූප – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT