Home » මැතිවරණ සංශෝධන කෙටුම්පත නිසා කිසිම මැතිවරණයක් කල් දමන්නේ නෑ – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

මැතිවරණ සංශෝධන කෙටුම්පත නිසා කිසිම මැතිවරණයක් කල් දමන්නේ නෑ – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
March 27, 2024 1:59 am 0 comment

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මෙරට පවතින නීතියට අනුව දූෂණයක් යනුවෙන් සැලකෙන්නේ කාන්තාවකට සිදු වන අතවරයක් පමණයි. ඒත් නව සංශෝධන හරහා ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව වින්දිතයකු ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ස්වාමිපුරුෂයකු නීතියෙන් වෙන් වී සිටින බිරියකට සිදු කරන ලිංගික හිංසනය දූෂණයක් ලෙස ගැනෙනවා. පොලිස් භාරයේ, බන්ධනාගාරයේ හෝ වෙනත් අයකුගේ භාරයේ සිටින විට සිදු වන බලහත්කාරකම්වලට දෙන දඬුවම වැඩි කිරීමටත් මෙමඟින් යෝජනා කර තිබෙනවා. ඒ වගේම බාලවයස්කරුවකු කැමැත්තෙන් හෝ දූෂණ වරදක් සිදු කළ හොත් වසර 10ක සිර දඬුවම් දීමට නීති සංශෝධනය කර තිබෙනවා.

“ඊට අමතරව මැතිවරණ සංශෝධන පනතක් ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 1994 සිට සෑම නායකයකුම ජනාධිපතිවරණවලදී මේ සම්බන්ධ පොරොන්දු දී තිබෙනවා. ඒත් ඒ කිසිම නායකයකු මේ පොරොන්දු ඉටු කර නැහැ. එහෙත් වත්මන් ජ‍නපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දීමට මෙවර සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. මේ සංශෝධන මඟින් මැතිවරණ කල් දැමීමේ අදහසක් තිබෙන බවට සමාජයේ යම් කතාබහක් මතුව තිබෙනවා. ඒත් මේ සංශෝධන කිසිවක් මඟින් මැතිවරණ කල් දැමීමකට කිසිසේත්ම අපේක්ෂා නොකරන බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙනවා. එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මේ මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT