Saturday, April 27, 2024
Home » මූලගිරි විහාර පාර්ශ්වීය ආදිකර්තෘවරුන් සිහිකරමු – සැමරුම් සඟ සමුළුව 30දා

මූලගිරි විහාර පාර්ශ්වීය ආදිකර්තෘවරුන් සිහිකරමු – සැමරුම් සඟ සමුළුව 30දා

by sachintha
March 28, 2024 1:00 am 0 comment

බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමිපාණන් පහළ වූයේ නුවර යුගයෙහි සිංහල රාජ වංශයත් සම්බුදු සසුනත් නෂ්ටප්‍රාප්තව පැවති අවදියක බව බොහෝ දෙනා දන්නා කරුණකි. උපසම්පදාව එකදු භික්ෂුවක් හෝ නොසිටි මෙම යුගයෙහි විකාශ වෙමින් පැවති සියලු පෞරාණික විහාරස්ථාන ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලද්දේ ගණින්නාන්සේලා නම් වූ සිල්වතුන් වහන්සේලා බව ප්‍රකට කරුණකි. මොවුන් සියලු වගකීම් දරමින් නායකත්වයකින් තොරව ක්‍රියා කරන ලද්දේ මතු නොව, වැලිවිට පිණ්ඩපාතික සරණංකර තෙරුන් එම සිල්වතුන් වහන්සේලා රැස්කොට සිල්වත් සමාගම පිහිටුවා සංවිධානය කරන ලද ආකාරයද නොරහසකි.

ඉන් අනතුරුව වැලිවිට මහා යතීන්ද්‍රයන් වහන්සේගේ එකම අපේක්ෂාව වූයේ මේ සියලූ දෙනාම ආයති සංවරයෙහි පිහිටුවා උපසම්පදා කිරීම වන අතර ඒ සඳහා තත්කාලීන රාජ්‍ය පාලකයින් දැහැමි ධර්මිෂ්ඨ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ඇතුව සියම් දේශය නම් වූ තායිලන්තයෙන් උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිසක් වැඩමවා ගැනීම වැලිවිට තෙරුන්ගේ මහත් සොම්නසට හේතු විය.

රාජ්‍ය අනුග්‍රහය ලබමින් එම උතුම් උපසම්පදා විනය කර්මය ඓතිහාසික අපේ මල්වතු වූ විහාර භූමියේදී සිදුකිරීම ලක්දිව ශාසන ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවී ඇති උතුම් සංසිද්ධියකි. සියම් දේශයෙන් වැඩම කළ නුවර උපාලි මහ තෙරුන් වෙතින් ප්‍රථමයෙන් උතුම් උපසම්පදා සීලයෙහි පිහිටි වැලිවිට සරණංකර තෙරුන් තමන් වහන්සේ සංවිධානය කොට තිබූ සිල්වත් සමාගමට අයත් වූ ලක්දිව විවිධ පළාත්වල විසූ සිල්වතුන් වහන්සේලා මහනුවරට කැඳවා මූලික පුහුණුවක් ද ලබා දී උපසම්පදා සීලයෙහි පිහිටුවීමේ උතුම් කාර්යය සිදුකරන ලදහ. මෙසේ ලක්දිව පුරා විවිධ පෞරාණික විහාරාරාම රැක ගනිමින් ක්‍රියාකළ සිල්වතුන් වහන්සේලා උපසම්පදා සීලයෙහි පිහිටුවමින් මීට සියවස් තුනකට පෙර ස්ථාපිත කරන ලද්දේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායයි.

මීට පෙර කිසිදු නිකායක් පාර්ශ්වයක් පිළිබඳව අසන්නට නොලැබෙන අතර පසුකාලීනව ඉන් බිඳී ගිය පාර්ශ්ව හා කාලීන හා පෞද්ගලික මතිමතාන්තර අනුව නිකාය වශයෙන් බිඳී ගිය අයුරු දක්නට ලැබේ.

සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම ශාසනික සංසිද්ධිය ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන්නේ මතු නොව ලක්දිව පුරා විසිර ගිය ශිෂ්‍යවරයන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්ය නිසා සම්බුදු සසුන මනා පුනරාගමනයකට ලක් වූ බව නොරහසකි. මේ අනුව සංඝරාජයානන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වශයෙන් දක්ෂිණ ලංකාව කේන්ද්‍ර කොටගත් මහා යතීන්ද්‍රයන් වහන්සේලා අතර මුල්ගිරිගල රාජමහා විහාරයේ කේන්ද්‍ර කොටගත් අතිපූජනීය වටරක්ගොඩ ධම්මපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහා පැල්මඩුල්ල රාජමහා විහාරයේ කේන්ද්‍ර කොට ගත් අතිපූජනීය වේහැල්ලේ ධම්මදින්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳව සඳහන් වේ.

මෙම දෙදෙනා වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර පහතරට හෙවත් දකුණු පළාතේ ගම් නියම්ගම් සිසාරා යමින් විහාරස්ථාන ගොඩනැගෙමින් සිදුකරන ලද සේවය ප්‍රමාණ කළ නොහැක. මුල්ගිරිගල මුල් කොට ගෙන එහි වැඩ වසමින් සංඝරාජ මාහිමියන් සමඟ නිරන්තර සබඳතා පවත්වමින් උඩරට රාජ්‍ය සමඟ සහසම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය අයුරු හුවමාරු වී ඇති ලිපි ලේඛන විපරම්පත් තුඩපත් ආදිය මඟින් මනාව දැකගත හැකිව තිබේ. මෙසේ ශාසනික වශයෙන් එකම අරමුණකින් ක්‍රියාකළ වටරැක්ගොඩ මහායතීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස දොළොස් නමක් වශයෙන් සඳහන්ව ඇති අයුරු දැකගත හැකියි. උන්වහන්සේලා තේනාගම චන්දජෝති මහාස්ථවිර, නලගම මනිරතන, බෙලිගල්ලේ ධම්මජෝති, ගංගොඩගම දේවරක්ඛිත, කටුවන අත්ථදස්සි, වළල්ගොඩ දම්මිස්සර, මහකෝට්ටවත්තේ සුමන, පොත්තේවෙල බුද්ධරක්ඛිත, මල්හාගොඩ ආනන්ද, වේපතඉර ඉන්ද්‍රසාර, වටරක්ගොඩ ධම්මධජ, මීගහවෙල බුද්ධරක්ඛිත යනුවෙන් මෙම මහායතීන්ද්‍රයන් වහන්සේලා ගණනය කොට තිබේ. මෙම දොළොස් නමගෙන් ඇරඹුණ විහාරස්ථාන මෙන්ම සංරක්ෂිත විහාරස්ථාන ද ඇත්තේ මතු නොව උන්නාන්සේලා ඇතිකළ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර රට පුරා විසිර සිටිමින් මහත් ශාසනික මෙහෙයක නිරත වන්නේ මතු නොව ජාත්‍යන්තරව බොහෝ රටවල ධර්මදූතයන් වහන්සේලා ලෙස ක්‍රියාකිරීම මූලගිරි භික්ෂු පරපුරට මහත් ගෞරවයක් වෙමිනි.

සඟ පරපුරක් වශයෙන් ම ලිපියට ඉතිහාසයක් ඇති එකම සඟ පරපුර මූලගිරි සඟ පරපුර වශයෙන් මහත් සාඩම්බරයෙන් සිහිපත් කළ හැකි අතර මෙම ඓතිහාසික ග්‍රන්ථය එක්දහස් නවසිය හතළිහ දශකයේ ලියා පළ කරන ලද්දේ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරාධිපතීන් වහන්සේ මෙන්ම එම විහාරස්ථ මහින්ද පිරිවෙනෙහි පරිවේණාධිපතීන් වහන්සේ වූත් අතිපූජ්‍ය දෙහිගස්සේ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

ආදීකර්තෘභූත වටරක්ගොඩ ධම්මපාල මහා යතීන්ද්‍රයන් වහන්සේ මුල් කාලීනව රාජානුග්‍රහයෙන් හා සංඝරාජෝත්තමයන් වහන්සේගේ උපදෙස් පරිදි ඉතා ප්‍රකට විද්‍යාස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති අතර බොහෝ ශාස්ත්‍රීය මෙහෙවරක් එහිදී සිදුවී ඇති බවද පෙනීයයි. පසුකාලීනව

දෙහිගස්සේ මාහිමියන් වහන්සේ පවත්වාගෙන ගිය මහින්ද පිරිවෙන මූලගිරි විහාර පිරිවෙන වශයෙන් ස්ථාපිත කොට පරිවේණාධිපතිත්වයද දරා ඇත.

පසු කාලීනව කොටවිල සිරිසුමන මාහිමියන් මෙන්ම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය දරන ලද පූජ්‍යතර කෝදාගොඩ ශ්‍රී ඥානාලෝක නාහිමියන් හා පූජ්‍යතර පල්ලත්තර සුමනජෝති නාහිමියන් ද මෙම පරිවෙණාස්ථානය සම්භාවනාවට ලක් කළ මහා තෙරුන් වහන්සේලා වෙති. මෑතාතීතයෙහි මූලගිරි සඟ පරපුරට අයෝමය ශක්තියක් ලෙස සසුන් වැඩ විසූ අති පූජ්‍ය රාජකීය පණ්ඩිත පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් විසින් මූලගිරි විහාරවංශය ද ගුරුකොට ගනිමින් වඩාත් සම්පූර්ණ මූලගිරි මහා විහාරවංශය නමින් නවතම කෘතියක් රචනා කරමින් මූලගිරි විහාර පාර්ශ්වීය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තම යුතුකම මැනවින් සිදුකොට ඇත.

එමෙන්ම මූලගිරි පරපුරයෙහි දුරාතීතය ප්‍රභාවත් කරන ලද බෝවල ධම්මානන්ද නම් වූ මහායතීන්ද්‍රයන් වහන්සේ සසුනේ චිරපැවැත්ම සඳහා මහත් මෙහෙවරක් සිදු කරමින් කුලභේදාදී පටු ආකල්පයන්ගෙන් බැහැරව අමරපුර නිකාය ඇරඹීම සඳහා ශක්තිය ලබා දුන් යතීන්ද්‍රයන් වහන්සේ නමකි. මුන්වහන්සේගේ ශාසනික සේවාවේ අමරණීය අනුස්මරණීය සේවාව මින් ප්‍රකට වන්නේ මතු නොව එසේ නොවන්නට මුහුදුකරයේ දක්නට ලැබෙන්නේ බෞද්ධයන් නොවන්නා සේම එම නිකායට ශක්තිය දුන් උගත් සඟ පරපුරක් ද දක්නට නොලැබෙනු ඇත.

මෙම උතුම් ශාසන චිරස්ථායී ක්‍රියාවලිය මූලගිරි පාර්ශ්වීය දැන උගත් මහ තෙර නමකගෙන් සිදුවීම වර්තමාන මූලගිරිය සඟ පරපුරේ අභිමානයට හේතුවකි. ශාසනික වශයෙන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ඉමහත් සේවාවක නිරත වන මූලගිරි සඟ පරපුරට අයත් වන සමස්ත රට පුරා විසිරී සිටින භික්ෂූන් වහන්සේලා එහි ස්ථානයකට කැඳවා සඟපරපුරෙහි ප්‍රභවය හා ප්‍රගමනය පිළිබඳව සාකච්ඡා කොට සුහදතාව හා දැන හැඳින්වීම් ඇතිකර ගැනීම සඳහා වූ මූලගිරි සඟ සමුළුව වේ. 2024 මාර්තු මස තිස් වැනි දින පෙරවරු අටයි තිහට තෙලිජ්ජවිල, ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරයේදී විහාරාධිපති දර්ශනපති පරදුව ජිනරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා මුල්ගිරිගල රජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල නාහිමියන්ද සංවිධායකවරයන් වහන්සේ නමක ලෙස මහත් ශක්තියක්ව කටයුතු කරන අතර පරපුරෙහි කතෘන් වහන්සේලාගේ සේවාව පිළිබඳ මුඛ්‍ය දේශනය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන් විසින් සිදුකිරීමට නියමිතව ඇත. පාර්ශ්විය මෙම මහා සඟ සමුළුව මෙහෙයවීම රුහුණු විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොරකන්දේගොඩ අරියවංශ හිමියන් විසින් සිදු කෙරෙන අතර දහවල පිරිනැමෙන මහා සඟසතු දානමය පින්කමෙන් පසු පාර්ශ්විය ආදී කතෘන්

වහන්සේලාට පින් පැමිණවීම සිදු කරනු ලැබේ.

කොළඹ 06

හැව්ලොක්සිටි

සාම විහාරාධිපති

අතපත්තුකන්දේ

ආනන්ද නාහිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT