Saturday, April 27, 2024
Home » සජබ ආර්ථික කණ්ඩායම සමඟ විවාදයකට එන්නැයි ජාජබට යළි අභියෝග – එන්න කීවාම බයේ හැංගෙනවා

සජබ ආර්ථික කණ්ඩායම සමඟ විවාදයකට එන්නැයි ජාජබට යළි අභියෝග – එන්න කීවාම බයේ හැංගෙනවා

by sachintha
March 28, 2024 1:00 am 0 comment

සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට නැවත වතාවක් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (27) මෙම අභියෝගය කළේය.‍

ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇති බවත් නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේදැයි ඔවුන් තවම පවසා නැති බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික යෝජනා නොවන බවත් ඔවුන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි දක්ෂ කණ්ඩායමක් ජාතික ජන බලවේගය සතුව නැති බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් සිටිනවා. ඒ වගේම දැන් ජාතික ජන බලවේගයත් ආර්ථික කවුන්සිලයත් නම් කරලා තිබෙනවා. ඒ ආර්ථික කවුන්සිලයේ සුනිල් හඳුන්නෙත්ති සමඟ ආචාර්යවරු දෙදෙනකු සිටිනවා. සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්න කියලා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට හත් වැනි වතාවක් ආරාධනා කළා. සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අභියෝග කළාම ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ පිරිස් බයේ හැංඟෙනවා. අප ජාතික ජන බලවේගයේ ආර්ථික කවුසිලයට අභියෝග කරනවා පුළුවන් නම් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්න කියලා. ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවුණා. නමුත් ඔවුන් සමඟ සාකච්ඡා කරපු දේවල් ප්‍රසිද්ධ කරලා නෑ. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව ප්‍රකාශ කරනවා. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ක්‍රමයක් පිළිබඳ සඳහන් කරන්නේ නෑ. ඒ පිළිබඳ විවාද කළ යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික යෝජනා නෙවෙයි. එම යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් ජාතික ජන බලවේගය සතුව නෑ.

ඒ වගේම මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණට රටේ තිබෙන ආසනවල ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක කවුරුද කියලා නම් කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණට එහෙම පෙන්වන්න බිම් මට්ටමේ නායකයෝ නෑ. ජාතික ජන බලවේගය ඔවුන්ගේ ආසන සංවිධායකවරු කවුරුන්ද කියලා තවම ප්‍රකාශ කරලා නෑ. 88-89 කාලයේ භීෂණයට සම්බන්ධ වුණු පිරිසෙන් කොටසක් තමයි ආසන සංවිධායකවරු ලෙස ජනතා විමුක්ති පෙරමුණ පත් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ට ගම්වල ජනතාවට මූණ පෙන්වන්න බෑ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT