‘චන්ද්‍රා (චන්ද්‍රකුමාර කඳනාරච්චි) උඹ දන්නවද යුද්දෙට කලින් මෙතැන තිබුණේ මොකක්ද කියලා?
ප්‍රේමකීර්ති ද අල්විස් ඔහුගේ රාජකාරි මේසය ඉදිරිපිට වික්ෂෝප මුහුණින් යුතුව සිටගෙන සිටි හීන්දෑරි තරුණයාගෙන් එසේ විමසීය. එසැණින් ඊට පිළිතුරක් ලැබිණ.
‘පිස්සන් කොටුවලු නේද?’
‘අන්න හරි, තාම මෙතැන පිස්සො ඉන්නවා. උන්හිටිගමන් උන් පිස්සු වැඩ කරනවා. කාලෙත් එක්ක ඕක හරියයි…’ ඒ, ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පිළිතුරයි.
ගුවන්විදුලියෙන් ගීත ප්‍රචාරය තහනම් කළ වගට වන ලිපිය ලද විගසම, කඩිමුඩියේ මහනුවර සිට කොළඹ පැමිණි, තැවුලෙන්, කනගාටුවෙන් සිටි, නැඟී එන ගායක, චන්ද්‍රකුමාර කඳනාරච්චිට ප්‍රේමකීර්තිගේ ඒ පිළිතුරෙන් යම් අස්වැසිල්ලක් ලැබුණාක් මෙනි. හිස සොලවමින්, ඔහු නැවත මහනුවර බලා යෑමට හැරිණි.
ඉකුත්දා (26) මහරගම අපේක්ෂා රෝහලේදී ඒ ප්‍රවීණ ගායන ශිල්පියා අවසන් ගමන් ගියේ ඒ මඟේ තවත් බොහෝ දුරක් ගෙවමිනි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. ඒ, වයස අවුරුදු 76දී දිවි ගමනට නැවතීමේ තිත තබමිනි. එදා මෙදා තුර හේ සුවහසක් සිත් සතන් ගැයුමෙන් සැනසීය. තවද, එතරම් ඉක්මනින්, සැණින් මැකී නොයන මේ අපූරු කලාකරුවාගේ මතකය ඊට වඩා බෙහෙවින් දුර ඈතට දිව යන්නකි. මේ ඉන් ඇබිත්තකි.
‘70 දශකය මෙරට ගීත කලාවට සුවිශේෂීය. එහෙත් චන්ද්‍ර කුමාර, වික්ටර්, ටියුඩර් සොහොයුරන් සමඟ, ‘පෝය සඳේ සඳ කිරණින්…’ගැයුවේ 60 දශකයේය. ඒ කෙසේ වෙතත්, එකල දුර බැහැරෙන් පැමිණ කොළඹ ගුවන්විදුලිය වටා රොද බැඳගෙන, ගීත කලාවට පෙම් බැඳි තරුණයන්ට ගුවන්විදුලියේ ප්‍රවීණයන් ලවා ගීතයක් ලියවා ගැනීමේ හීනය ඉහටත් උඩින් පැවතිණ.
ඉඳින්, ප්‍රේමකීර්ති ද අල්විස් ලවා ගීයක් ලියවා ගැනීමේ ආශාව චන්ද්‍රකුමාරටත් විය. ඔහු ප්‍රේම් හමු විය. හිතේ තිබූ රිද්මයත් ප්‍රේම්ගේ කනට කර මුමුණන්නට විය. ප්‍රේම් ඊට සාවධානව සවන් දුනි.
‘හරි චන්ද්‍රා, මට ටියුන් එක අහුවුණා. ඔහොම චුට්ටක් වාඩිවෙලා ඉන්න’
ඉන් ටික වේලාවකින් ප්‍රේම්, චන්ද්‍රකුමාරගේ අතට ගී පදමාලාවක් දුණි.
‘නෙළුම් විලේ කැලුම් පෙරා
පාවෙන දෙව්දුනු ප්‍රභාතයේ…’
ඒ ගීය අතිශය ජනප්‍රිය විය. ඉනික්බිතිව, මහනුවර එකම ගමේ, හිතවතකු වූ කේ. ඩී. කේ. ගෙන් ද ගීයක් ඉල්ලා සිටි, චන්ද්‍රකුමාර වෙනුවෙන්. කේ. ඩී. කේ. ‘ගම මහනුවරයි’ රචනා කළේය.
ඒ අයුරින් එකින් එක ගීත, අනේක විධ දුක්විඳ එක්රැස් කරගෙන, ඒ ගීත ගැයූ චන්ද්‍රකුමාර ගීත 60ක් පමණ ගායනා කළේය. එහෙත් ඉන් ප්‍රචාරය කෙරෙන්නේ අඩකටත් අඩු ගණනකි. පෙම් බැන්ඳ සිත් බැන්ඳ, ඇගෙ සිනහව තහනම්, නෙළුම් විලේ, ගම මහනුවරයි, ගංඟා නදී තීරයේදී එදා ආදී චන්ද්‍රකුමාර ගැයූ ගී රැසක් අදටත් එදා සේම ජනප්‍රියය.
එහෙත්, චන්ද්‍රකුමාර නික්මුණේ, මෙතෙක් නොගැයූ, නොඇසූ ගීත ගණනාවකුත් රැගෙනය. ඔහු ඒ එළිදක්වන්නට උත්සාහ කළද ඊට ඉඩහසර නොලැබිණ. ලේ දන්දීමේ පින්කමේ අගය ඉස්මතු කෙරෙන ගීයක් ඔහු නිර්මාණය කළේය. ඊට ප්‍රචාරයක් අපේක්ෂාවෙන් ගුවන්විදුලි නාළිකා ගානෙ ගෑටූ වාර අනන්ත බව චන්ද්‍රකුමාරම පුවත්පත් සාකච්ඡාවලදී කියා තිබේ. ඒ එකකි, එවැනි තවෙකක් වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් සුකුමාර ජීවිතයක් ගෙවූ චන්ද්‍රකුමාර ව්‍යාපාර අතින් පිරිහී, බිමටම ඇද වැටී සිටි සමයේදී ඔහුම ඔහුගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් රචනා කළ,
‘කරත්තයේ බැඳි සතා විලසින
ජීවිතය මගෙ ගෙවී යනවා…’
ගීතයයි.
‘මං උදවු කළ අය අහක බැලුවාම මං කිසි දෙයක් නොකළ අය මට පිහිට වෙලා තියෙනවා’ ඒ, චන්ද්‍රකුමාරම තවත් විටෙක ජීවිතය මෙනෙහි කළ අයුරුය.
එසේම, අනෙක් බොහෝ කලාකරුවන්ට වඩා චන්ද්‍රකුමාරගේ ජීවිත කතාව වෙනස්ය. ඔහු කලාවෙන් හිත් පිනන රසිකයන් ඔහුව බලා ගත යුතු යැයි සිතූ කලාකරුවකු නොවේ, සැඳෑ යාමයේදී අගහිඟකම් කියමින්, ළතැවුණු අයකු ද නොවේ, අහිමිවීම් කොතරම් දැඩි වුවද හේ එය සිනහවෙන් දරා ගත්තේය.
එයාර් සිලෝන්හි ඉංජිනේරුවරයකු, කම්හල් ගණනාවක් හිමි ව්‍යාපාරිකයකු ආදී වශයෙන් බහු චරිත අපේ කතානායකයාණන්ගේ දිවියෙන් දිස් විය. චන්ද්‍රකුමාරව රූපකායෙන් නොදත් කිසිවකු ඔහුගේ ගී රස විඳ ඇතුවාට සැක නැත. කලාතුරකින් ඒ දෙකම නුහුරු කෙනකු වුවද ඔහුගේ හිමිකාරිත්වය යටතේ වූ ‘පෝලෝ’ ටී ෂර්ටයක් දිවියේ කවරදාක හෝ ඇඳ තිබෙන්නට ඇත. ඒ, චන්ද්‍ර කුමාර කඳනාරච්චිය.
‘මං කෝටි ගණන් හෙව්ව බිස්නස්කාරයෙක්. ඒ වගේම, මට කෝටි ගණන් පාඩු වුණා. මං උපරිම සැප වින්ඳා. උපරිම දුකත් වින්ඳා. කුරුඳුවත්තේ ගෙවල් දොරවල්, බෙන්ස් කාර් නැති වුණත් මං ආයෙත් නැඟී සිටියා. ඒ සංගීතය නිසයි.
ඉතින්, රූපකායෙන් සමුගත්, හඬින් නිබඳ අප අතරම රැඳෙන කලාකරුවාණෙනි, ඔබට ජාතියේ උත්තමාචාරය!
නුවන් මහේෂ් ජයවික්‍රම