Home » අත දරුවකු එක්ක මින්නේරියට ඇවිත් අයිස් වික්ක අක්ක මලෝ දැලේ ගන්න ආපු පහකුත් කොටුවෙති

අත දරුවකු එක්ක මින්නේරියට ඇවිත් අයිස් වික්ක අක්ක මලෝ දැලේ ගන්න ආපු පහකුත් කොටුවෙති

by sachintha
March 28, 2024 1:40 am 0 comment

කඩවත සිට බසයේ ඇවිත් කාලයක්ම ජාවාරම කරලා

 

මින්නේරිය බස් නැවතුම්පොළේදී අවුරුදු තුනක් වයසැති දියණිය ද සමඟ අයිස් මත්ද්‍රව්‍ය අ‍ෙලවි කරමින් සිටි එකම පවුලේ අක්කා මලෝ දෙදෙනෙක් පොලොන්නරුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් එකකයේ ස්ථානාධිපති වසන්ත කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගැනිණ.

මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 5 දෙනකු ද අයිස් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට ගත් කාන්තාව සහ ඇයගේ මල්ලි සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් තිබී අත්අඩංගුවට ගෙන තිබුණි.

කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ක් පමණ වයසැති සැකකාරිය තම සිඟිති දියණිය ද කැටුව සහෝදරයා සමඟ අයිස් මත්ද්‍රව්‍ය විකිණීම සඳහා බස් රථවලින් මින්නේරිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 5 දෙනකු ද අත්අඩංගුවට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුම වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා යන මහතුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය මින්නේරියට සහ හිඟුරක්ගොඩට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු පුද්ගලයන් 7 දෙනා ඊයේ (27) උදේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු පැවරීමට මින්නේරිය පොලිසිය කටයුතු කර තිබේ.

ඇළහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT