Home » බෝවන රෝග සුවයට මිථ්‍යා මතවලින් බැහැරව නිසි ප්‍රතිකාර ගන්නැයි වෛද්‍යවරුන්ගෙන් අවවාද

බෝවන රෝග සුවයට මිථ්‍යා මතවලින් බැහැරව නිසි ප්‍රතිකාර ගන්නැයි වෛද්‍යවරුන්ගෙන් අවවාද

by sachintha
March 28, 2024 1:51 am 0 comment

කිසිදා සුවකළ නොහැකි එහෙත් හොඳින් පාලනය කළ හැකි දියවැඩියාව ආදී බෝ නොවන රෝග නිට්ටාවට සුවකළ හැකි යැයි ප්‍රචාරණය කරන විවිධ වෛදවරුන් ළඟට ගෙන යාම හාස්‍යට කරුණක් බවත් රෝහල් ගත කිරීමෙන් තොරව මිත්‍යා මත පසුපස යමින් තම සමීපතමයින් මරුතුරුලට යැවීම නොකර නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙසත් වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සංජීව බෝවත්ත මහතා පවසයි.

කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය, කුලියාපිටිය ශික්‍ෂණ රෝහල එක්ව වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පෙරේදා දවස පුරා (26) පැවති නිදන්ගත හා බෝ නොවන රෝග පිළිබඳ සාකච්ඡා කෙරෙන වෙද ජන කතිකාවත වැඩසටහන් කිහිපයකට එක්වෙමින් ඒ මහතා ඒ බැව් පැවසීය.

එහිදී අධි රුධිර පීඩනය, දියවැඩියාව, අංශභාගය, කොලෙස්ටරෝල් ආදී රෝග පිළිබඳ පවතින මිත්‍යාවන් නිසා මියයාම දක්වා ජනතාව රෝග උත්සන්න කරගන්නා ආකාරය, ඊට හේතු, ඉන් මිදෙන ආකාරය ආදී කරුණු රැසක් ප‍්‍රායෝගිකව සාකච්ඡා කළ අතර ආහාර භාවිතය තේ පානය ආදී එදිනෙදා කටයුතු ද ප්‍රායෝගික උදාහරණ සහිතව සාකච්ඡා කෙරිණ. එහිදී රාජ්‍ය සේවකයින් ගුරුවරුන් ආදි පිරිස දැනුම්වත් කිරීම එක් වැඩසටහනක් ලෙසද හෙද කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීම තවත් වැඩසටහනක් ලෙසද පැවති අතර වෛද්‍යවරුන් සඳහා වූ වැඩසටහන ශික්‍ෂණ රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. සෞඛ්‍ය සම්පන්නව ආහාර පිළි‍ෙයල කොට කැලරි ප‍්‍රමාණය අනුව ඒවා නිවසේදී ආහාර පිණිස බෙදාගන්නා අයුරු හා තේ පැන් පිළියෙල කිරීමේදී සීනි භාවිත කරන අයුරු ප‍්‍රායෝගික වැඩසටහන් ලෙසින් ඉදිරිපත් කර තිබිණ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය නාමල් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීව බෝවත්ත, කැඳවුම්කරු යාපා උදයකුමාර, ගනක සේනාරත්න, ප්‍රියමාලි ජයසේකර, කෝලිත ජයසුන්දර, චමින්ද කෝට්ටගේ, නුවන් පේ‍්‍රමවර්ධන, චතුර පීරිස් යන මහත්වරුන් සිය දේශන පැවැත්වූ අතර ප‍්‍රාදේශීය ලේකම් අනුර දිසානායක, කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත, වෛද්‍ය මදූෂ සත්කුමාර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, හෙද හෙදියන් රැසක් ඊට සහභාගීව සිටියහ.

කුලියාපිටිය

මෙවිරු ධනාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT