Home » ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර එපා – විදෙස් නායකයෝ ඊශ්‍රායලයෙන් ඉල්ලති

ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර එපා – විදෙස් නායකයෝ ඊශ්‍රායලයෙන් ඉල්ලති

by sachintha
April 16, 2024 1:50 am 0 comment

‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතියෙන් මහා විනාශයක් වැළකෙයි

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානම තුරන් කිරීමේ අවශ්‍යතාව මත ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකෙන ලෙස ලෝක රාජ්‍ය නායකයන් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ මිත්‍ර පාර්ශ්වික රටවල් වන අමෙරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් එම ඉල්ලීම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හමාස් සංවිධානයට එරෙහිව යුද ගැටුම්වලදී දැනටමත් ගාසා තීරයේ සිදුවී ඇති විනාශය කෙරෙහි අවධානය යොමු කරමින් මේ මොහොතේදී සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙස විදෙස් රාජ්‍ය නායකයන් රැසක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහෙත් ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ සිය ජනතාව ආරක්ෂා කරගත යුතු ආකාරය ගැන ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිතව තිබූ බවය. තම ජනතාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි යන්න තීරණය කිරීම ඊශ්‍රාලය සතු අයිතියක් බව ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින් පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, එය සාර්ථකව මැඬ පැවැත්වීමට ඊශ්‍රායල ‘අයන් ඩෝම්‘ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ අමෙරිකානු මිසයිල නාශක පද්ධතිය සමත්ව තිබිණි. ඉතිහාසයේ පළමුවරට ඉරානය විසින් ඊශ්‍රායලයට මෙවැනි ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය සතියේදී ඊශ්‍රායලය විසින් සිරියාවේ දමස්කස් නුවර ඉරාන කොන්සියුලර් කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නායකයන් 7 දෙනකු ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙස බව ද වාර්තා වේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා අලුයම දක්වා අඛණ්ඩව පැය 5ක් පුරා ඉරානයේ සියලු කලාපවල සිට කිලෝමීටර් 1770ක් දුරින් පිහිටි ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන ප්‍රහාර 185ක් සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර 150ක් එල්ල වු බවත්, ‘සත්‍යවාදී මෙහෙයුම‘ ලෙස නම් කරමින් ඉරාන හමුදාව ඊශ්‍රායලයට එල්ල කළ ගුවන් ප්‍රහාරය ඉරාකය, සිරියාව, ජෝර්දානය සහ පලස්තීන ගුවන් සීමාව ඔස්සේ ඉලක්ක වෙත පියාසර කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රටවල් රැසක ගුවන් සීමා තාවකාලිකව වසා දැමීමටත්, ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් අත්හිටුවීමටත් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගත් එමිරේට්ස්, ඉතිහාඩ් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා මෙන්ම ස්විට්සර්ලන්ත ගුවන් සේවය ද ටෙල් අවීව් නුවර සිට පියාසර කිරීමට නියමිතව තිබූ සිය ගුවන් යානා අත්හිටුවීමට පියවර ගෙන තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. ජෝර්දානය, ඉරාකය සහ ලෙබනනය සිය ගුවන් සීමා පසුගිය ඉරිදා වන විට නැවත විවෘත කර ඇත. ඉදිරි පැය 48 ඇතුළත ඊශ්‍රායලයට ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල වන බවට පසුගිය සිකුරාදා රාත්‍රී අමෙරිකානු බුද්ධි අංශය වාර්තා කළ අයුරින්ම එම ප්‍රහාරය එල්ල වු බවත්, ඉරානයේ මීළඟ පියවර කුමක්දැයි අනාවරණය කර ගැනීමට අමෙරිකානු බුද්ධි අංශ උත්සාහ දරමින් සිටින බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT