Home » සිංහල-හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය – අගමැති ප්‍රධානත්වයෙන්

සිංහල-හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය – අගමැති ප්‍රධානත්වයෙන්

by sachintha
April 16, 2024 1:58 am 0 comment

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර, පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජමහා විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ හිසතෙල් ගෑහ.

අනතුරුව රාජ්‍ය උත්සවයට එක්ව සිටි ජනතාවගේ හිසතෙල් ගෑම මහා සංඝරත්නය විසින් සිදු කළහ.

එළැඹෙන 18 වැනිදාට යෙදී ඇති පැළ සිටුවීමේ නැකතට සිටුවීම සඳහා අධිපෝෂණීය, ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකයක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් හැඳල පුරාණ රජමහා විහාර දායක සභාවට පිරිනැමීමද සිදු කෙරිණි.

හිසතෙල් ගෑමේ උත්සවයෙන් බලාපොරොත්තු වන ආකාරයට ජනතාවට නිදුක් නීරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කරන බව එහිදී අගමැතිවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT