Home » සිඩ්නි නුවර දේවස්ථානයේ පිහි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් -ඔස්ට්‍රේලියානු පොලිසිය කියයි

සිඩ්නි නුවර දේවස්ථානයේ පිහි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් -ඔස්ට්‍රේලියානු පොලිසිය කියයි

by sachintha
April 17, 2024 1:38 am 0 comment

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කතෝලික දේවස්ථානයකදී බිෂොප්වරයකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සැක කටයුතු ආගමික අන්තවාදී අදහස්වල දිරිගැන්වීමෙන් සිදු කරනු ලැබූ ත්‍රස්ත ක්‍රියාවක් බව සිඩ්නි නුවර පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිඩ්නි නුවරට කිලෝමීටර් 35ක පමණ දුරින් පිහිටි යහපත් එඬේරාගේ දේවස්ථානයේ පැවැති ආගමික උත්සවයකදී දේශනයක් සිදු කරමින් සිටි බිෂොප්වරයාට මේ පිහි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඒ වන විට බිෂොප්වරයාගේ දේශනය සජීවීව විකාශය කරමින් තිබූ බවද වාර්තා වේ. බිෂොප්වරයාට පිහි ඇනුම සිදු කළ පුද්ගලයා 16 හැවිරිදි තරුණයකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට පෙර ඔහු තවත් පියනමකට සහ බැතිමතුන් කිහිපදෙනකුට ද පිහි ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පිහි ඇනුමට ලක් වූ සියලු පුද්ගලයන් සුළු තුවාල ලබා ඇතැයි ද, අත්අඩංගුවට පත් වූ සැකකරු ද තුවාල ලබා දැඩි පොලිස් ආරක්ෂාව මැද රෝහල්ගත කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

එම සිදුවීමෙන් පසු කුපිත වූ අතිවිශාල බැතිමතුන් පිරිසක් කලහකාරීව හැසිරුණු බවත්, ඔවුන් පොලිස් නිලධාරින්ට ද පහර දුන් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බැතිමතුන්ගේ ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම ගැටුම අතරතුර පොලිස් මෝටර් රථ 10කට පමණ හානි සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT