Home » රුසියානු යුද්ධයට යන ශ්‍රී ලංකා කුලී භටයන් ගැන තොරතුරු ඉල්ලයි

රුසියානු යුද්ධයට යන ශ්‍රී ලංකා කුලී භටයන් ගැන තොරතුරු ඉල්ලයි

-රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ

by sachintha
April 17, 2024 1:44 am 0 comment

 

යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් සම්බන්ධ වී සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් වහාම තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලා එරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ‘දිනමිණ’ ට පැවසුවාය.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට සම්බන්ධ වී යුද මෙහෙයුම්වල නිරත වන බවට මෙතෙක් නිල වශයෙන් තොරතුරු නැති නමුත් මෑතකදී රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු මිය යෑම හේතුවෙන් තවදුරටත් එලෙස සිටින්නේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම සාකච්ඡාව ඉල්ලා තිබෙන බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙන නමුත් මෙතෙක් සාකච්ඡාවක් ලැබී නැති බව සඳහන් කළ තානාපතිවරිය ඉදිරියේදී සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි ද පැවසුවාය. එහිදී රුසියානු හමුදාවන්ට සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් සිටින්නේ ද? එම සංඛ්‍යාව කොපමණ ද? ඔවුන් රුසියානු හමුදාවට සම්බන්ධ වූයේ කවදා ද? ආදිය සම්බන්ධයෙන් නිශ්චිතව තොරතුරු ලබාගත හැකි බව ද ඇය කීවාය.

පෞද්ගලික ඒජන්සි මාර්ගයෙන් රුසියාවට පැමිණ වැඩි වැටුපක් අපේක්ෂාවෙන් මෙලෙස රුසියානු හමුදාවට ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් එක් වන බව පෙන්වාදුන් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එලෙස පෞද්ගලික සබඳතා මත පැමිණීම හේතුවෙන් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් තානාපති කාර්යාලය සතුව නැති බව ද කීවාය. යම් හෙයකින් මෙලෙස රුසියානු හමුදාවට සම්බන්ධව යුද ගැටුම් හේතුවෙන් මියයන ශ්‍රී ලාංකිකයන්ට වන්දියක් හෝ ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බව ද තානාපතිවරිය පැවසුවාය.

රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ යැයි තානාපති කාර්යාලය වෙත තොරතුරු ලැබෙන්නේ ඔවුන් මියගිය පසුව හෝ තුවාල ලබා රෝහල්ගත වූ පසුව නමුත් ඇතැම් අවස්ථාවල එවැනි තොරතුරක් හෝ නොලැබෙන බව ද මෙය කනගාටුදායක තත්ත්වයක් බව ද ශ්‍රී ලංකා තානාපතිනිය පෙන්වා දුන්නාය.

සහායක සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාම ගිය සැලකිය යුතු පිරිසක් රුසියාවට රැගෙන ගොස් අවි පුහුණුව නැවත ලබාදෙමින් කුලී හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බවට රුසියානු හමුදාවෙන් පලාවිත් මේ වන විට මෙරට සිටින යුද හමුදාවේ විශ්‍රාමිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT