සුඩානයේ රැපිඩ් සපෝට් ෆෝසස් නම් කැරලිකාර කණ්ඩායම අවි අතට ගෙන රට වැනසීමට පටන් ගෙන තිබේ. මේ ජාතියේ නහරකාරයෝ හිර ගෙදරට ගාල් කර ගැනීමට මුල් වේලාවේ නොහැකි වීම හේතුවෙන් රටක්ම අඩපණව ගොසිනි. දැන් වැඩේ සිවිල් යුද්ධයකි. ගහගන්නේ ත්‍රස්ත කල්ලිය සහ හමුදාවය. එහෙම කියා මේ දෙගොල්ලෝ ජනතාව නැති පිට්ටනියක හෝ වෙල් යායක ‘හොරා පොලිස් සෙල්ලම’කරන්නේ නැත. ජනීජනයා සිටින නගර අතරේ ඔය වර්ගයේ සිවිල් යුද්ධයක් ඇති වූ විට, අහක යන වෙඩි කා මියැදෙන්නේ අසරණයන්ය. සුඩානයේ අගනුවර වන කාටුම් නගරය දැන් අමු සොහොනකි. අගනුවර ඒ තත්ත්වයට ආවා කියන්නේ රට සුම්මාය. මෝටාර් අවි ආදිය පහත් වෙන්නේ, හමුදා කඳවුරු බලාගෙන නොවේය. මේ නිසා සුඩාන වැසියන් දාහතර දාහක් දැන් මිය ගොස් අවසන්ය. මේ වූ කලී අප වන් වූ මිනිසුන්ය. උදේ නැඟිට කෑම ටික හදා, පොඩි එවුන් පාසලට පිටත් කර ජීවනෝපාය සඳහා පිටත්ව යන සාමාන්‍ය ජනයා මේ ගැටුමෙන් විනාශ වී ඇත්තේය. මළා කියන්නේ එක්තරා ආකාරයක සැපයකි. ‘උන්නා ද මළා වගේ’ කියන්නේ ඊට වඩා අමාරුවකි.
ලොව දරුණුම සාගතය පවතින රට බවට දැන් සුඩානය පත්වෙමින් ඇත්තේ වසර ගණනක් පුරා පවතින නියඟය නිසා නොවේ. මේ සිවිල් ගැටුම නිසාය. එක් මොහොතක නොසලකා හැරීම මේ ආකාරයේ සමාජයම බිරාන්තට්ටු කරන ක්‍රමවේදයක් සකස් කරන්නේය. සමාජයක් සමඟ අප ඒ ජාතියේ සෙල්ලම් නොකළ යුත්තේ එහෙයිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටට ආ පළියට කියූ වචනය දේශපාලනය කියා අතහැර දැම්මේ නම් මේ රට ද ඒ ආකාරයේ ගින්නක් සඳහා යළි ලක් වෙනවා ඇත. ඡන්දය කිට්ටු කරගෙන රට සවාරි ගසා, කොන්ත්‍රාත් භාරගෙන ආ විට ඔහොම දේ කියන්නේ, මේ රටේ නැති ගිනි අවුළා තමන්ගේ ජාම බේරා ගැනීමටය.
ඒ කියමන සුළුවට භාර නොගෙන විමර්ශනයට ලක් කිරීම මේ තීරුව දැඩි ලෙස අගය කරන්නේය. රටක් සමඟ ඒ ආකාරයේ සෙල්ලම් කිරීමට අප ඉඩ දිය යුතු නැත. අනික තමන් පාලකයා ලෙස සිටින කල්හි ත්‍රස්ත කල්ලියක් එම ආරක්ෂක දැලෙන් රිංගා දෙව් මැඳුරු සහ සංචාරක හෝටල් ගණනාවකට බෝම්බ ගැසීම ඒ ගාණට ලඝු කිරීම සඳහා ඉඩ දිය යුත්තේම නැත. එහෙම බෝම්බ ගැසූ කල, මෛත්‍රීපාල ජනාධිපති තෙමේ විමසන ලද්දේ සරල ප්රශ්නයකි. “මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ගේම පාලන කාලයේ බෝම්බ පිපිරුණා” යන කියමන ඔහු දිගටම මතුළේය. 2015 වසරේ ඔහු භාර ගත්තේ යුද බිය නැති රටකි. බෝම්බ සෙල්ලම් ඉවර කළ රටක් ඔහු, යළි බෝම්බ පිපිරෙන තැනකට පත් කළේය. එතැනින් ද නොනැවතී දැන් යළි ඒ බෝම්බ සක්‍රිය කර, රටේ සාමය සඳහා අකුල් හෙළන කතා කීමට පටන් ගෙන තිබේ. ඊයේ දිනයේ ද මේ තීරුව ඔය මාතෘකාව කතා කරන ලද්දේය.
අද මාතෘකාව වන්නේ ඔය වගේ කටමැත දොඩවන සියල්ලෝ සඳහා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් වැඩේ වල් වෙන්නේ නැති බවය.
සිද්ධියක් සම්බන්ධයෙන් හැම කෙනාම සිය තීන්දුව දීමට ගියහොත්, මේ රටේ කිසිම දෙයක් සඳහා අවසන් තීන්දුවක් එන්නේ නැත. වැඩේ වවාගෙන අවුරුදු දහයක් පමණ ගමන් කරනවා ඇත. සමාජ මාධ්‍ය ජාලයේ තරම් ‘වියත් ජනීජනයා’ අන් කවර තැනකවත් නැති ගාණට මේ පිරිසක් වැඩ කරගෙන යන්නේය. එක්කෝ අප්සෙට් ජොකියෙක් ගෙන්වා ගෙන සාකච්ඡාවක් සිදු කරන්නේය. ඒ යෝධයා රටේ නැති කතා ටිකක් වපුරා, යන්නට යන්නේය. කියපු කෙනාට ද, සාකච්ඡාව කළ කෙනාට ද ඒවා ගාණක් නැත. විව්ස් ගණන වැඩි වී ඇති හෙයින් යූටියුබර්ගේ ආදායම සරුය. මේවා දකින රටේ මිනිසුන්ගේ ඔළුව දෝදු වන්නේය. ප්‍රශ්නයක අග මුල පැටලෙන්නේය. අවසන් තීරණයක්, ප්‍රතිඵලයක් ආදිය ගැන සිතා ගැනීමට නොහැකි වන්නේය. මේ ආකාරයට සමාජයක් විකාර කිරීම සඳහා තවදුරටත් ඉඩ දිය යුතු නැත්තේය. ඕනෑම ගැටලුවක් සඳහා මේ රටේ නෛතික ප්‍රවේශයක් ඇත්තේය. ඒවා එක ස්ථානයක බලඅධිකාරිය මත නොපවතින්නේය. පහළ අධිකරණයක දෙන තීන්දුවක් සඳහා ඉහළ අධිකරණයට යා හැක්කේය. පොලිසිය හරියාකාරව පරීක්ෂණ මෙහෙයවන්නේ නැතිනම් ඒ ගැන අධිකරණයට කිව හැකිය. මානව හිමිකම් කොමිසම වැනි තවත් ආයතන ගණනාවක් ඒ සඳහා ඇත්තේය. එහෙම ආයතනික රටාවක් රටේ තිබියදී, සිද්ධියක් වටා කයිවාරු ගැසීමට අප ඉඩ නොදිය යුත්තේය.
එහෙම කයිවාරු ගසන විට, වටේ යනවා මිස අග, මුල ලිහෙන්නේ නැත. පැටලීම් වැඩි වී, ජනයාගේ ඔළුව විකාර වන්නේය. සත්‍යය යටපත් වන්නේය. මේ ආකාරය දැන් සමාජයට විශාල හානියක් සිදු කර තිබේ. කිසිවක් ගැන සමාජයේ දෙදෙනෙක් හෝ එක මතයක නැත. ඇහැට පෙනෙන සත්‍යය වුවද වෙනත් කතා පටලවා, බොහෝ දුර ගෙන ගොස් මුහුද පවා අහස කරන තැනට රට පත්ව තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව සඳහා ක්ෂණික පියවරක් නොගත්තේ නම් ඔය ජාතියේ ලෙඩ්ඩු තව බොහෝ ගණනක් ෆෝම් වීමේ ඉඩකඩ තිබුණි. නීතිය ඉදිරියේ කයිවාරු බැරිය. හිතළු කියා මාරු විය නොහැකිය. ඒ සඳහා සාධක අවශ්‍යය. ඒ සාධක සපයනු නොහැකි නම් අධිකරණය විසින් මානසිකත්වය පරීක්ෂා කිරීම සඳහා යොමු කරන්නේය. සමාජ මාධ්‍ය ජාලාහි එහෙම රංගන සිදු කරන සියල්ලෝ වෙතම මේ ඉරණම පොදු කළ යුත්තේය. ඒවා පළිගැනීම් ආදිය නොවේ. සමාජය එහෙම තමන්ට වුවමනා විව්ස් ප්‍රමාණය සඳහා තෝතැන්නක් කරගෙන යෑමට ඉඩ දිය යුතු නැත. සුඩානය අද කන්න බොන්න නැති රටකි. ගැටුම නතර කරගත නොහැකි තැනකට පත්ව තිබේ. ජීවිත වැනසී යන්නේ කිසිවක් සඳහා හා හූ කියූ අයගේ නොවේ. එහෙම ගින්නක් මුලදී නිවා නොගැනීමේ විපාකය දැන් ඒ රට අත්දකින්නේය.
මේ හැම ප්‍රශ්නයකම මුල සුළුය. සිරිපාදය යන විට ඉඳිකටුපාන හරියෙන් ගලා යන දිය පහරක් ඇත. එය කානුවකටත් වඩා කුඩා ස්ථානයකි. අඟල් පහක් තරම්වත් මහතක් එහි නැත. ඔහේ පැන යා හැකිය. මේ කළු ගඟේ මුලය. හැම ප්‍රශ්නයක්ම මුල ඔහොමය. මේ නිසා සුඩානයේ අද ඇති වී තිබෙන තත්ත්වය දෙස බලා, මේ කයිවාරු ආරම්භයේ සිටම වග විභාග කරනා යාන්ත්‍රණයක් අප පවත්වාගෙන යා යුතුය.