Saturday, April 27, 2024
Home » රඟහල තවමත් අඩ අඳුරේ

රඟහල තවමත් අඩ අඳුරේ

by sachintha
March 27, 2024 1:00 am 0 comment

අපි ශේක්ෂ්පියර් කියවන කිසිවිටක රංග කලාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්නේ නැහැ. එහෙත්, ඉතිහාසය තුළ මනුෂ්‍යත්වය පිහිටි ආකාරය අප ඉගෙන ගන්නවා. අප හොයාගන්නෙ අපව. අප අපව සොයා ගතහොත් අපට පුළුවන් අපව වෙනස් කර ගන්න. අවසානයේ මුළු ලෝකෙම වෙනස් කරන්න.” ලෝකය වෙනස් කරන ආකාරය පිළිබඳව මේ කියැවීම සඳහා මුල් වන්නේ, වෙනසට පළමුව හඳුනාගන්න යන ඇරයුමය. හඳුනා නොගතහොත් එහි ස්වභාවය අප දන්නේ නැත. දැන ගැනීම යනු වෙනස් කිරීමේ පළමු ප්‍රවේශයය. මේ අර්ථකථනය මනුෂ්‍යත්වය වැඩිමනක් ඇති ලෝකයක් වෙනුවෙන්ය.

ඔගොස්ටෝ බොවාල් වේදිකාවට ගොඩවන්නේ මහ පාරෙන්ය. පීඩිතයන්ගේ රංග කලාව උදෙසා ඔහු සිය කලා මෙහෙවර දියත් කරන්නේය. ‘පීඩිතයන්ගේ රඟහල’නම් සිය කෘතියේ පෙරවදන ලියමින් ඔහු පැවසු වාක්‍ය ඛණ්ඩ කිහිපයක් මෙම තීරුව ආරම්භය සඳහා පළ කරන්නේ අද ‘ලෝක නාට්‍ය දිනය’ නිසාය.

වේදිකාව යනු අපට තවදුරටත් මතු මහලක් නොවේ. එය මහ පොළොවෙන් මඳක් ඉස්මත්තේ පිහිටි වැයික්කියකි. අපට අත පත ගා හැකි දුරකින් වේදිකාව පිහිටා ඇත්තේ වුව ද ජනී ජනයා ඒ ස්පර්ශය තම සියොළඟ තවම තවරාගෙන නැත. මේවා බඩසායෙන් අනූන දනන් වෙත කලාව සම්බන්ධයෙන් කරන දැනුම්වත් කිරීම් නොවේ. ලෝකය වෙනස් කළ යුත්තේ හෙයින්, ඒ සඳහා වන ප්‍රවේශයක් සඳහා ස්ථානයක් සොයන විට සිහිපත් වන දෑය. තමන්ගේ සියලු දුක්ඛ දෝමනස්ස මිනිසා විඳගන්නේ තනිවමය. එය මානව ස්වභාවයේ එක් ධර්මතාවයකි. එහෙත් මේ ‘දුක පිරුණු කතාව’ මිනිසාට තනිව වෙනස් කර ගත හැකි නොවේ.

ඒ සඳහා සමාජයම ‘දැල ඔසවාගෙන’ යා යුතුය. එතැනට මිනිසා ඒකරාශි කිරීම සඳහා කලාවට ලබාදිය හැකි බලවත් තල්ලුව අප තවම භාවිතයට ගෙන නැත. අද නම් වේදිකා නාට්‍යයක් දුවන්නේ හාස්‍ය මත්තේය. සමාජ කතිකාවක් ඇති වේදිකා නාට්‍යයක් බැලීමට අවශ්‍ය අයෙක් වෙත කිහිප වරක්ම නාට්‍ය පිළිබඳව මුල් සෝදිසියෙන් සිටීමට සිදුවනු ඇත. එක්කෝ එන්ජීඕ ෆන්ඩින් වැඩය. නැතහොත් මේ රටේ සිංහලත්වය සහ බුද්ධාගම පලු අරින්නේය. ෆෙඩරල් වැනි මාතෘකා කරලියේ කොණකින් දිග හැරෙන්නේය. ඔහොම විකාර මහ පොළොවේ නැති වුවද වේදිකාවේ පොර වීම සඳහා ජාතියට කස පහරදීමේ ‘පර පීඩා කාමුකත්වය’ මේ නාට්‍යකරුවෝ ‘උඩට ගන්නාහ’. එහෙම පීචං ටයිප් වැඩ, අතින් වියදම් කර නොවේ, නොමිලේ පෙන්නුව ද මිනිස්සු අතරට යන්නේ නැත. ‘මහ පොළොවෙන් වේදිකාවට’ කියන්නේ, පොළවේ නැති ඒ උඩ තලයේ දිග හැරීම නොවේ. නැතිනම් වෙනත් පොළොවක වුවමනාවකට මේ රටේ මිනිස්සු ඇන්දවීම නොවේ. මේ රටේ කලාවට දේශප්‍රේමය තහනම් මාතෘකාවක් කළේ, සම්මාන සහ අනුග්‍රහකත්වයය. සම්මාන උත්සව සඳහා වියදම් කළේ සහ අනුග්‍රහය ලබාදීම සඳහා පෙළ ගැසුණේ, රාජ්‍ය නොවන සංවිධාන සහ ත්‍රස්තයන්ගේ අරමුණ සඳහා දේශපාලන විසඳුම් අවශ්‍යය යැයි කියූ පිරිසය. ප්‍රභාකරන් මහ පොළොව බදාගෙන මිය ගිය සඳ, ඒ සියල්ලෝ සිය වියදම් පාර්ශ්වය හකුළුවා ගත්හ. මතවාදී පාර්ශ්වය ගාල් කර ගියහ.

අපේ කලාවට වුණු වින්නැහියේ ‘කෙටි කතාව’ එයය.

“වෙනස සඳහා අප හඳුනාගන්න” යැයි ඔගොස්ටෝ බොවාල් කළ සඳහන, මේ සඳහා ගළපා නොගැනීමේ විපාක දැන් අප අත්විඳින්නේය. මේ රටේ සංස්කෘතිය හදුනා නොගෙන නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවෝ තමන්ගේ ව්‍යායාමය සාර්ථක නොවන විට ජනතාවට බැණ අඬ ගසමින් යන්නාහ. ජෝන් ද සිල්වාගේ නූර්ති මරදානේ පොර කකා බැලූ කාලය පිරිහී යන්නේ සිනමාව සහ රුපවාහිනිය නිසා පමණක් නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන ආදීහු වේදිකාව ජනයාගෙන් හිස් නොකළේය. පල්ලේ මාලය හිස් කර ‘උඩහ කුමන නැටුම් කෙළි කවට සිනාදෝ…?’ යැයි ඇසිය යුත්තේ ‘පහළට’ වේදිකාව අප්‍රිය කළේ අපේ නාට්‍යකරුවෝ කොන්ත්‍රාත් ගත් හෙයින් යැයි මතක් කරමිනි.

නිකන් පෙන්නුවද බැලීමට නොඑන ගාණට වැඩේ පල්ලමට යවා, ජනතාවගේ රස නහරයට ශල්‍යකර්ම යෝජනා කරන්නා, වහාම පුරහල අසලින් මාර්ග අංක 150 බසයේ නැංවිය යුතුය. බසයේ ගමනාන්තයේ සිට ඇවිදින දුරින් මානසික සෞඛ්‍ය ආයතනය පිහිටා ඇත්තේ බැවින්, ජනතාවට බැණ බැණ යෑමේ සිට කලාවට තමන් කළ වින්නැහිය දක්වා සියල්ල, එතැනදී සිහි කැඳවා, මායාවෙන් සත්‍ය ලෝකය වෙත නිර්මාණකරුවා ප්‍රවේශ කිරීමට වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දෙනවා ඇත.

වේදිකාව සඳහා ජනයා ශුන්‍ය නොවන මඟක් තනියෙන් තැනිය නොහැකිය. සිනමාව අරහං කරන තැන දක්වා, සාමය නමින් බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය තිරයේ වපුරන ලද්දේ කලාකරුවෝමය. ඒවා දිහා බලාගෙන පොප්කෝන් රස විඳීමට වඩා දේවල් මිනිස්සුන්ට තිබුණි. ජාතියට කසයෙන් තළමින්, ත්‍රස්ත අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා, නොරාඩ් ආදී සංවිධාන අදහස් ජනගත කරන්නට ගොස් සිනමාව ඇදගෙන වැටුණේ හතර ගාතෙන්ය.

වේදිකාව, පාතාලයට ඇදී ගොස් ඇත්තේ, මේ ආකාරයේ ‘කාටවත් ෆීල් නොවන’ මාතෘකා උඩ නැග්ඟීමට යෑම තුළය. අප දැන් නතර කර ගත යුත්තේ මේ කිඳා බැසීමය. ජනයා දැන් වේදිකාව දකින්නේ, ළිඳක පතුලක් දක්නා සේය. එතැනින් උඩට ගැනීමට නම් පළමුව ජන මනස සහ සමගත විය යුතුය. මේ රටේ රසවින්දනයේ මහා නිමැවුම ජාතක කතා පාලියය. අපගේ ලේ නහර රස විඳින්නේ ඒ කතා රටාවය. ආරම්භය ඇත්තේ එතැන බැවින්, ඒ සංස්කෘතියට, පෙනය පුප්පන, දරන ගැසීම් ලෙස නාට්‍ය පෙන්වන්නේ නම්, වැඩේ ගල් වනුයේ ‘තුඹසකටය.’

කලාව පළමුව රසවින්දනය සඳහා විය යුත්තේය. එහි කොන්ත්‍රාත් ගතිකය තනුක නම් පළමුව පලා යන්නේ රස වින්දනයය. ලෝක නාට්‍ය දිනය ආරම්භ වන්නේ 1962 වසරේදීය. මේ මොහොතේ එය සමරන්නේ, මරණයට කැප වූ ගවයෙක් නිදහස් කරන ආකාරයේ, අහිංසක චේතනාවෙන් යුක්තවය. එතරම්ම අවුලට නාට්‍ය කලාව ගෙන ආවේ, විජාතික මානසිකත්වයෙන් වේදිකාව සැරසූ නාට්‍යකරුවෝය. ඒ පරපුරට අඳෝනා නැඟීමට ඉඩදී, මේ රටේ අනාගත නාට්‍යකරුවෝ හෝ ජනතාවට යමක් පෙන්වන, මේ සමාජය පළමුව තේරුම් ගෙන, නාට්‍ය කරන තැනකට පත් කර ගත යුත්තේය, යන්න මේ තීරුව, තිරය වසමින් අවධාරණය කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT