Home » රුපියල ශක්තිමත් වීමෙන් ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්

රුපියල ශක්තිමත් වීමෙන් ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්

-කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සේනානි වේරකේ

by sachintha
April 16, 2024 2:02 am 0 comment

මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වෙමින් පවතිනවා

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩිවෙනකොට භාණ්ඩ මිල පහළ යාම අනිවාර්ය දෙයක්

අද ජනතාවට විවිධාකාරයේ සහන ලබා දීමට රජය කටයුතු කරගෙන යනවා

ලොවම පාලනය කරන නොඑසේ නම් ලොවම අල්ලේ නටවන එකම සහ ප්‍රබලම බලවේගය ආර්ථික සාධකයයි. ඕනෑම රටක, ඕනෑම ආයතනයක මෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ දිශානතිය තීරණය කරන්නේද අන් කිසිවක් නොව ආර්ථික සාධකයම වෙයි. එසේ හෙයින් වර්තමානයේ මෙරටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සේනානි වේරකේ මහත්මිය සමඟ සිදු කළ සංවාදයකි මේ.

විදුලි බිල, ඉන්ධන මිල, ගෑස් මිල අඩු කරමින් ජනතාවට යම් කිසි ආකාරයක සහන ලබා දෙන්නේ මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්ව තිබෙන නිසාද?

නැහැ. ඒ අදහසට මම එකඟ වෙන්නේ නැහැ. හේතුව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී වැඩි කාලයක් ගත වුණෙත් නැහැ. එක පැත්තකින් රට තුළ ඇති විනිමය අර්බුද වගේම විදේශ ණය නොගෙවීම නිසා ඇති වූ විදේශීය ණය අර්බුදය යන සිද්ධීන් අපේ රටේ ආර්ථිකය පහළට ඇදලා දැම්මා. නමුත් වර්තමානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් යටතේ රජය ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණයන් හා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් නිසා ආර්ථිකය අද දරුණු තත්ත්වයෙන් යම්තාක් දුරට ඈත්වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ආනයන සීමා කිරීම හරහා රුපියල තරමක් ශක්තිමත් වීම තුළ මෙවැනි සහන, කාලයත් එක්ක බලාපොරොත්තු විය හැකි හා ලැබිය යුතු දෙයක්. නමුත් සෑහීමකට පත්විය හැකි යහපත් ආර්ථිකයක් තවමත් ශ්‍රී ලංකාව සතුව නැහැ.

ජනතාවට සහන දෙන්නේ,ඡන්දය ඉලක්ක කරගෙන යැයි විවිධ පාර්ශ්ව පවසනවා නේද?

ඇත්තටම අද වන විට ජනතාවට විවිධාකාරයේ සහන ලබා දීමට රජය කටයුතු කරගෙන යනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ඉහළ යාම තුළ ක්‍රමානුකූලව භාණ්ඩ මිල පහළ යාම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. එවිට ජනතාවට භාණ්ඩ හා සේවාවල මිල පහළ දමමින් සහන ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත්, ජනතාවට සහන ලබා දීමේ ඉතිහාසය විශ්ලේෂණය කරලා බලද්දි මැතිවරණ කාලසීමාවන් ළංවෙද්දි ජනතාවට සහන ලබා දීමට එවකට පවතින ආණ්ඩු කටයුතු කරලා තියෙනවා.

IMFණය කළමනාකරණය හා තුන්වෙනි වාරිකය සම්බන්ධව මේ වන විට පවතින තත්ත්වය කෙබඳුද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප වෙත ලබා දී ඇති ණය වැඩසටහනේ ණය මුදලට අදාළව දෙවන වාරිකයත් අපට ලබා දී අවසන්. දැන් තියෙන්නේ තුන්වෙනි වාරිකය ලබා ගැනීමටයි. මේ වෙනකොට ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් එකඟතා ලබා ගැනීමට සාකච්ඡා කරමින් ඉන්නවා. එසේම මෙම ණය වැඩසටහනට අදාළව මාස හයෙන් හයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ප්‍රගතිය ගැන විමර්ශනයක් කරනවා. ඒ නිසා IMF එකඟතා හා ඉලක්ක අනුව අපි කටයුතු කරලා තියෙනවාද කියා බලලා තමයි තුන්වෙනි ණය වාරිකය ලබා දීමට ඔවුන් කටයුතු කරන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සංකීර්ණ වැඩක්. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. විශේෂයෙන් IMF ණය කළමණාකරණය කරමින් හා ඔවුන්ගේ එකඟතා හා ඉලක්ක අප සපුරාලමින් සිටිනවා. ඒ නිසා තුන්වෙනි ණය වාරිකය ලබා ගැනීමට නම් ඉදිරියේදීත් ඊට අදාළ අවශ්‍යතා හා කොන්දේසි ඉටු කරන්නට සිදුවෙනවා.

රුපියල ශක්තිමක් වීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇති විය හැකිද?

ශ්‍රී ලංකා රුපියලෙහි අගය අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්‍ෂව ඉහළ යාම රුපියල ශක්තිමත් වීම ලෙස අපි හඳුන්වනවා. පසුගිය අවුරුද්දේ ඩොලරය එක දිගටම වගේ ඉහළ ගියා. නමුත් අද වෙද්දි ඩොලර් සැපයුම ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම අපනයනයන් නැවත සක්‍රිය වීම, ආයෝජකයන් පැමිණීම වර්ධනය වීම, සංචාරකයන්ගේ පැමිණීම, ආනයන විශාල වශයෙන් සීමා වීම ආදී කරුණු නිසා ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබීම නිසා රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය අඩුවීමට පටන් ගත් නමුත් රුපියල ශක්තිමත් වීම හරහා ක්‍ෂණිකවම ආර්ථීකයේ ධනාත්මක වර්ධනයක් වෙයි කියලා හිතුවොත් ඒක වැරැදියි. ඒක ක්‍රමානුකූලව සෙමින් සිදුවෙන දෙයක්. විශේෂයෙන්ම ආර්ථිකයට පනවා තිබූ සීමා මායිම් ඉවත් කර ගැනීම රුපියල ශක්තිමත්වීම හරහා කර ගන්න පුළුවන්. ඒකත් කරන්න ඕනෑ ක්‍රමානුකූලව. අනෙක් අතට රුපියල ශක්තිමත් වුණා කියලා භාණ්ඩවල මිල ක්‍ෂණිකව පහළ යාමක් සිදුවන්නේ නෑ. එසේම තමයි රුපියල ශක්තිමත් වීම හරහා ඵලදායි අංශයක් වන කෘෂි කර්මාන්තය වාසිදායක ලෙස ගළපා ගන්න පුළුවන්. එහිදී පොහොර මිල, කෘෂිකාර්මික උපකරණ, අමුද්‍රව්‍ය මිල ගණන් යම් සහනදායී තත්ත්වයට ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන ආදිය ආනයනය සඳහා අඩු මුදලක් වැයවෙනවා. ඒ නිසා සියලු නිෂ්පාදනවල මිල ගණන් ඒ හරහා අඩුවීම සිදුවෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වීම නිසා කාලයත් ගත වීමත් සමඟ ආර්ථිකයේ ධනාත්මක වර්ධනය සිදුවීමට පුළුවන්.

පෙර වසරවලට සාපේක්‍ෂව විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහළ යෑම අනාගත මූල්‍ය ස්ථාවරත්වයට කෙසේ බලපානු ලබයිද?

2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉතාමත් පහළ මට්ටමකට පැමිණියා. නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු යම් මට්ටමකින් වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දුන් ණය හා මූල්‍ය ආධාර මෙයට මූලික වශයෙන්ම බලපෑවා. ඒ වගේම ආනයනය සීමා කිරීම නිසා වෙළෙඳ හිඟය අවම කර ගැනීමටත්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ නිසා හා සංචාරක ඉපැයීම් ද මෙයට හේතුවක් වුණා.

විදේශ විනිමය ප්‍රමාණය කොතෙක් ඉහළ ගියද ඒවා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉහළ අධීක්‍ෂණයක් තියෙන්න ඕනෑ. මෙහිදී දේශීය, විදේශ විනිමය හා වෙළෙඳපොළ නියාමනය කිරීම හා ශක්තිමත් කිරීම සිදු කරන අතරේ ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමේ වර්ධනය තුළින් සමස්ත ශේෂය කෙරෙහි ධනාත්මක ලෙස බලපාන්න පුළුවන්. මේ සඳහා විදේශ විනිමය ඉහළ යාම නිසා ලංකා රුපියල ශක්තිමත් වීම සිදුවෙනවා. එය රටේ මූල්‍ය අංශයේ තිරසරභාවයට සෘජුවම බලපානවා.

රටේ උද්ධමනය අඩුවෙමින් පවතින බවට බොහෝ දෙනා අදහස් පළ කරනවා . නමුත් එදිනෙදා භාණ්ඩවල මිල අඩු වෙලා නැහැ?

උද්ධමනය අඩුවෙමින් තියෙනවා කියලා බොහෝ දෙනා මත පළ කරන්නේ ඩොලරයේ අගය පහළ යාමේ ක්‍රියාවලිය නිසා. නමුත්, ඩොලරයේ අගය පහළ යෑමේ වේගයත් සමඟ භාණ්ඩවල මිල පහළ යන්නේ නැහැ. විශේෂයෙන් ආනයනික භාණ්ඩවල මිල පහළ යෑමට යම් කාලයක් ගත වෙනවා. දැනටමත් ආනයනය කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම බෙහෙත් වගේ දේවල්වල මිල ක්‍ෂණිකව අඩුවෙන්නේ නෑ. නැවත නැවත ඒවා ආනයනය කරන විට එම කාලයට ඇති ඩොලරයේ අගය අනුව මිල උස් පහත්වීම් වෙන්න පුළුවන්. මේ නිසා රුපියල ශක්තිමත් වීම හරහා ඉන්ධන, ගල් අඟුරු ආනයනයේදී අඩු මුදලක් තමයි වැය වෙන්නේ. මම කලින් කිව්වා වගේ නිෂ්පාදන භාණ්ඩවල මිල ගණන් පහළ යාමක් සිදුවෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. අනිත් කරුණ තමයි ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ යන්ත්‍රණය ශක්තිමත් නැහැ. පාරිභෝගික කටයුතු කාර්යක්‍ෂම නෑ. ඒවා නියාමනය කරන්න හොඳ වැඩපිළිවෙළක් නැති නිසා පාරිභෝගිකයාට ලැබෙන සහනය නිසි ආකාරයෙන් ඔවුනට ලැබෙන්නේ නෑ.

ජනතාවගේ සුබසාධනය ඉහළ නැංවීමට රජය කළ යුත්තේ කුමක්ද?

ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය පුළුල් වෙනකොට බරපතළ සමාජ අසාධාරණයක් ඇතිවීමට හා සමානාත්මතාවය නැතිවීමට හේතුවක් වෙනවා. මේ නිසා සමාජ සම්මත ආදායම් ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. රජයේ වියදම් වැඩි වශයෙන් අඩු ආදායම්ලාභීන්ව ඉලක්ක වන ලෙසත් රජයට ආදායම් ලබා ගැනීමේදී ඉහළ ආදායම්ලාභීන් ඉලක්ක කර ගැනීමත් මඟින් ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය සෑහෙන දුරකට අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම වෙළෙඳපොළ යන්ත්‍රණය ශක්තිමත් කිරීම තුළින් පාරිභෝගික අයිතිය සුරැකෙන ලෙස නීති රීති සම්පාදනය විතරක් නෙමේ ඒවා ක්‍රියාත්මක කිරීම හා පසු විපරම තුළින් පාරිභෝගික සුභසාධනය ඉහළ නැංවීම කළ යුතුයි. විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සනීපාරක්‍ෂක කටයුතු ආවරණය වන අන්දමේ විනිවිදභාවයෙන් යුතු සමාජයක ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හා අවදානම් සහිත ජන කොටස් මූල්‍ය අන්තර්ගතභාවයට යොමු කරවා ගැනීම තුළින් ස්ථිර ආදායම් මාර්ග හඳුන්වා දීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව පවතිනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී 2.2ක වර්ධනයක් වන බව ලෝක බැංකුවේ නවතම වාර්තා පවසනවා. මේ තත්ත්වය පිළිබඳ ඔබේ අදහස?

2022 දී ඇතිවූ දරුණු ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරමින් 2024 වසරේදී 2.2% ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කළා. පසුගියදා ඔවුන්ගේ යාවත්කාලීන දත්තවලට අනුව තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම, ආදායම් අසමානතාවය හා ශ්‍රම වෙළෙඳපොළ ගැටලුවලට ශ්‍රී ලංකාව මුහුණ දෙනවා. එමෙන්ම ඇස්තමේන්තු අනුව දරිද්‍රතා අනුපාත අඛණ්ඩව ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර හා නාගරික ප්‍රදේශවල ශ්‍රම බළකායේ සහභාගීත්වය ද පහත වැටීමක් මෙන්ම ක්ෂුද්‍ර හා කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසාය වසා දැමීමට සිදුවෙලා තියෙනවා. එසේම ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටීම, නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නිසා ඉහළ ආදායමක් හා දශක 03කට ආසන්න කාලයක් තුළ ප්‍රථම වතාවට ජංගම ගිණුමේ අතිරික්තයන් ද දක්නට ලැබුණු බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පසුගිය කාලයේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදය හා ඊට පසු රටේ ඇති වූ දේශපාලන පෙරළිය මේ මධ්‍යස්ථ ආර්ථික තත්ත්වය නිර්මාණය සඳහා බලපා තියෙන බව මගේ අදහසයි. දිළිඳු හා අවදානමට ලක්වූවන් මත ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ ගැනීම කාලෝචිත බව කිව යුතුයි.

රුවන් පුෂ්ප කුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT