Home » මත්ද්‍රව්‍ය තබාගත් දසදෙනාට 22දා තෙක් රැඳවුම් නියෝග
දකුණු මුහුදෙන් ඇල්ලූ කෝටි 380ක

මත්ද්‍රව්‍ය තබාගත් දසදෙනාට 22දා තෙක් රැඳවුම් නියෝග

by sachintha
April 17, 2024 1:58 am 0 comment

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දස දෙනකු ලබන 22 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදුන්නේය. මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, වැලිගම පදිංචි වීරසූරිය මහවිදානගේ නිශාන්ත පද්මලාල්, තල්පේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සංජු කුමාර නොහොත් වල්ගම ලක්මාල්, ඉමදූව පදිංචි රොෂාන් හරේන්ද්‍ර කොඩිකාර, වැලිගම පදිංචි වල්ගමගේ නලින්ද රොෂාන්, තල්පේ පදිංචි ගාල්ලගේ සුමින්ද රණතුංග, වැලිගම පදිංචි දඩල්ල ලනුමෝදරගේ සුමුදු නිසල්, දෙවිනුවර පදිංචි ගුණසේකර ආරච්චි පටබැඳිගේ අමිල ඉන්දික, වීරවර්ණ නිලවීර රන්පටබැඳිගේ සුසන්ත, නිෂාද් අනුසාත් එදිරිසංහ, මනෝජ් කුමාර ගුණවර්ධන යන අයවලුන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. ජයරත්න මහතා විසිනි. මෙරට දකුණු මුහුදු සීමාව ආසන්නයේදී ඉකුත් 12 වැනිදා නාවික හමුදාව විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 830ක් සහ ග්‍රෑම් 582ක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179ක් සහ ග්‍රෑම් 906ක් ද සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පාකිස්තාන සහ ඉරාන ජාතිකයන් විසින් බහුදින ධීවර යාත්‍රාවකින් මෙම හෙරොයින් තොගය මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් මෙරට බහුදින යාත්‍රාවක සිටි සැකකරුවන්ට භාරදී ඇති බවත් පසුව වෙනත් බහුදින යාත්‍රාවකට පැටවීමට සූදානම් කර තිබියදී නාවික හමුදාව වැටලීමක් සිදු කර සැකකරුවන් දසදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම සැකකරුවන්ට අදාළ හෙරොයින් තොගය ලැබුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තවමත් විමර්ශන පවත්වන බැවින් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 22 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT