Saturday, April 27, 2024
Home » මුරුංගා නම් වූ පෝෂණ බලාගාරය

මුරුංගා නම් වූ පෝෂණ බලාගාරය

by damith
March 23, 2024 1:00 am 0 comment

මුරුංගා දිනයක් ප්‍රකාශයට පත් කිරීම ගැන ප්‍රසිද්ධ වූ කල්හි එකවරම සිතෙන්නේ මුරුංගා කරල ‘මුරුංගා අත්තේ නග්ගලා ද’ යන්නය. දවසක් වෙන් කර දෙන තරමට මුරුංගා මාර දැයි මේ පුවත දුටු වනම සිතට එන්නේය. නැතිනම් මුරුගා දෙවියන්ටත් වඩා මුරුංගා බලවත් දැයි දේව භක්තිකයාගේ සිතට එනවා ඇත.

මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීමට වෙර දරන්නේ ආණ්ඩුව නොවේය. ජීවිතය සදහා මුරුංගා නම් සංවිධානයක් ජාත්‍යන්තරයේ ඇත්තේය. මෙහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ වන්නේ වසන්ත කුලතුංගය. මේ රටේ ජනතාවගේ පෝෂණය උදෙසා මුරුංගා ලවා මෙහෙවරක් සිදු කිරීමේ අදිටනින් යුක්තව වැඩේ අතට ගෙන ඇත්තේ එම සංවිධානයය. මේ ලෝකයේ දින වෙන් කර ඇති ආකාරය අනුව මුරුංගා සඳහා දිනයක් වෙන් කිරීම අවුලක් නොවේ. අත සෝදන දිනය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ සබන් සමාගම් සහ හෑන්ඩ් වොෂ් කොම්පැනිකාරයෝය. මුඛ සෞඛ්‍ය දිනය ‘අතට ගන්නේ’ දත් බුරුසු නිපදවන්නෝ සහ ටූත් පේස්ට් සමාගම්ය. මේ ආකාරයට බලන විට ‘දිනයක්’ උදාවන්නේ අපට කරුණු කාරණා අවබෝධ කරදීමට වඩා, සමාගම්වලට ගෝනි නැතිව අපේ කරේ යෑමටය. වාණිජකරණය වූ ලෝකය තුළ ඔබටත් මටත් මිලක් ඇත්තේය. තාම ලේබල් නොමැත. මිල සටහන් කොටද නැත. එසේ වුවද මේ ඇවිද යන සියලු දේහයන් ගණනකට කතා කර ගත හැකිය. එතරම්ම මේ ලෝකය ‘ධනවාදීය’. එතැන් සිට ගත් වන දිනයක් සඳහා ප්‍රාග්ධනය මැදිහත් වීමක් නොකරන්නේ යැයි කියන්නට තරම් ‘මුරුංගා අත්තේ’ මේ සමාජය තැබිය යුත්තේ නැත.

මුරුංගා කියන්නේ පෝෂණ බලාගාරයකි. ඇද ඇද කෑමේ රටාව නිසා මේ පෝෂණය ගැන අප වැඩිය හිතන්නේ නැත. බත්පතේ මුරුංගා ඇති විට එය වෙනම ‘කෝස් එකකි’. හොද්දේ රස සහ සූරාගෙන කෑම යන ආකාර දෙක නිසා, මුරුංගා වෑංජනය ප්‍රණීතය. බහුවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන බැවින් ගුණ අධිකය. වියළි කලාපයේ ගෙවල්වල මිදුලේ නිකම්ම වගේ මේ ගහ වැවෙන්නේය. කලක් යන විට කරලින් බරවී, සිරියාවට හැදී වැඩෙන හෙයින් මුරුංගා ගහ මිදුලේ පාළුව මකා ලන්නේය. තෙල් බෙහෙත් ආදී විෂ දමා, සරු කර ගන්නේ නැති හෙයින් ආර්ථිකයට ද බරක් නොදී ලොකු මහත් වෙන අතරේ ඇඟට ද වසක් නොවී පෝෂණය ගෙනදීම මුරුංගා සතු හොඳ ගති ගුණ වේ. ඒ තරම් හොඳට හැදෙන මුරුංගා සමඟ අප එතරම්ම කුළුපග නැත්තේ ඇයි යන්න මේ දිනයක් දමා ගැනීම සඳහා හේතුවය.

දිනපතා අවශ්‍ය වන විටමින් සහ ඛනිජ ලවණ ලබා ගැනීම සඳහා බර ගණන් දී පවර් බූස්ට් කරල් ගිලීම නාගරික මැද පන්තියේ විලාසිතාවකි. “ඔයා ගන්නේ මොන විටමින් එකද…?” කියා කතිකා කර ගන්නා තරමට වැඩේ නැඟලා යන්නේය. ඔය කරල් ජාති සඳහා මාර ගණනක් වියදම් වන්නේය. මාසයක අවශ්‍යතාව සඳහා පහළොස්දාහේ සිට පනස්දාහක් දක්වා වන මිලක් ඒවාට ගෙවන්නේ, එහෙම ‘පිටින්’ විටමින් සහ ඛනිජ ලවණ ගත්තේ නැත්තේ නම් දවසට අවශ්‍ය පෝෂණය නොලැබෙන බව සමහර දැන්වීම් ආදියේ පළ කරන හෙයිනි මේ ආකාරයට නාගරික මැද පන්තිය දිගටම විටමින් ගන්නේය.

මිනිසෙක් සඳහා දෛනිකව අවශ්‍ය වන පෝෂණ සංඝටක ප්‍රමාණයෙන් බහුතරයක් මුරුංගා ගහේ පස් පංගුවෙන් ගත හැක්කේය. එහෙම කියූ කල්හි දිනපතා මුරුගා ගස හම ගසාගෙන, කොළ සහ කරල් සියල්ල බුදින්න යැයි කියන ආකාරයේ අදහසක් නැත්තේය. දොඩම් ගෙඩියක මෙන් හත් ගුණයක් විටමින් සී ද කැරට් මෙන් හතර ගුණයක විටමින් ඒ ද කිරි වීදුරුවක් මෙන් හතර ගුණයක් කැල්සියම් සහ ප්‍රෝටීන් ද මුරුංගාවල අඩංගුය. ඉදුණු කෙසෙල් ගෙඩියක මෙන් තුන් ගුණයක් පොටෑසියම් ද නිවිතිවල මෙන් තුන් ගුණයක් විටමින් ඊ ද ආමන්ඞ් මෙන් තුන් ගුණයක් යකඩ ද ඇත්තේය. යකඩ සංයුතිය අනුව මුරුංගා තිබිය යුත්තේ හාඩ්වෙයාර් එකේ බව කිව හැක්කේය. මුරුංගා හි අධික ප්‍රෝටීන් ප්‍රමාණය සැසඳිය හැක්කේ කිරි බිත්තර සහ මස්වල තිබෙන ප්‍රෝටීන් සමඟය. ඔය ආකාරයට ශාකයකින් ප්‍රෝටීන් ගැනීම සඳහා වෙනදා අපට තිබුණු අදහස වූයේ, සෝයා පමණය. මුරුංගා ගැන අපට එහෙම අදහසක් තිබුණේ නැත. ඇමයිනෝ අම්ල දහරාවක් බඩ පුරා පැතිරී යන ආකාරයක් මුරුංගා කෑ කල්හි සිදුවන බව ජනී ජනයාට සන්නිවේදනය කර ගැනීමේ හැකියාවක් අපට තිබුණේ නැත.

මන්දපෝෂණය සඳහා ශරීර අවයව ගෙවෙනතුරු කෑකොස්සන් ගැසීම වෙනුවට, ඒ අතපය හීනි, කළගෙඩි වැනි බඩ ගෙඩි සඳහා මුරුංගා හොද්ද දවසකට වේලක් දුන්නේ නම් ප්‍රශ්නය අහවරය.

ඔය ටික මේ රටේ ජනතාවට සන්නිවේදනය කර ගැනීම සඳහා දිනයක් යොදා ගැනීමට ට්‍රයි එකක් දෙන පිරිසට මේ තීරුව යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියන්නේ, රටක වීර්යය යනු අපනයනය කළ හැකි යමක් නොවන නිසාය. ජනතාව සවිබල ගැන්විමෙන්ම කළ යුතු දෙයකි. පෝෂණය අඩු වූ රටක ජනයා සමඟ කළ හැක්කේ පැයකට ඈනුම් දෙක තුනක් යැවීම පමණය. එහෙව් ජාතියක් නිදි කිරා වැටෙනවා හැර වෙන වැඩක් සිදු වන්නේ නැත. එහෙම නොවන දේශයක් වෙනුවෙන්, අප කුසේ මුරුංගා තොරණක් ඉදිකිරීම සඳහා දරන වෑයම සාර්ථක වේවා යැයි අපේ ප්‍රාර්ථනයය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT