අධිඝනත්ව පොලිඑතිලීන් යනු බහුඅවයවියක ව්‍යුහයක් මෙන්ම ද්‍රවයකි. රසායන විද්‍යාඥයෙකු වන කාල් සීග්ලර් මේ නිපැයුම සිදු කළේය. දෙවන ලෝක යුද්ධයේදී එක්සත් ජනපද හමුදාවෝ, ගුවන්යානා මාර්ග සොයා ගැනීම සඳහා රේඩාර් ස්ථානගත කිරීමේදී, පරිවාරක ද්‍රව්‍යයක් ලෙස පළමුවරට, ප්ලාස්ටික් භාවිත කළෝය. ඒ කාලයේ ප්ලාස්ටික් යනු රහසකි. ඉලාස්ටික් ආදිය එකල සමාජය දැන සිටියේ බැවින් ඒ වචනයට සමානව යන ප්ලාස්ටික් ද ඇදෙනසුලු යමක් යැයි සමහරෙක් සිතූහ. සංග්‍රාම භූමියේ පාවිච්චිය සඳහා යොදන මේ ද්‍රව්‍ය ලෝකයාගෙන් වසං කරගෙන තමන් සන්තක කර තබා ගැනීම එක්සත් ජනපදයේ අරමුණ වුව ද ‘රහස් වැඩි කලක්’ පවතින්නේ නැති හෙයින්, වැඩේ එළියට ආවේය. ඒ කාලයේ හැම දෙයක්ම යකඩ සහ දැව නිමැවුම් විය. පිඟන් සහ වීදුරු ඉතිරි හරිය භාරගෙන සිටියේය. උදාහරණයකට වීදුරු මල් බඳුනක්, පහසුවෙන් බිඳී යන්නේය. යකඩ පයිප්ප මුහුද අද්දරදී ඉක්මනින් දිරා යන්නේය. පිඟන් මැට්ටෙන් හදන යමක්, පරම්පරා ගණනක් පවතින්නේ, අල්මාරියේ දමා පරිස්සමට තැබුවහොත් පමණය. ප්ලාස්ටික්වලින් යමක් සෑදුවහොත්, එය කැඩී බිඳී යෑමේ ප්‍රවණතාව ඉතා අඩුය. සමහර ගෙවල්වල, පොඩි පොඩි වලි ඇතිවන්නේ කෑම සඳහාය. දෙකක් දාගෙන එන එකා, පාරේ විහිළුකාරයෙක් සේ ඇවිත්, ගෙදර රඟන්නේය. මෙලෝ රහක් නැති අරක්කු කටට හලාගෙන එන ඒ යෝධයා, හොද්දේ ලුණු තිතට බලන්නේය. සම්බෝලේ ඇඹුල ගාණට ඇද්දැයි ‘ටේස්ටර්’ කෙනෙක් සේ හැඳින ගන්නේය. එතැන් සිට වලිය. බෙදා දුන් පංගුව පොළොවේ ගැසීම, මේ වලියේ ‘ක්ලයිමැක්ස්’ එකය. එහෙම උච්ච අවස්ථාවේ පිඟාන පොළොවේ ගැසූ කල්හි කෑලි යන්නේය. පිඟාන ප්ලාස්ටික් වූ කල, අර යෝධයා දෙතුන් විටක් එය පොළොවේ ගැසූවද බඩු එහෙම්මමය. ඒක හරියට මනාල යුවළගේ ඇතුළට එන විට, උළුවස්සේ ඇති ‘අදින මල් වෙඩිල්ල’ පත්තු නොවන්නා සේය. වැඩේ හබක්ය. මේ වාසිය නිසා ප්ලාස්ටික් සඳහා ලෝකයේ ඉල්ලුම නැඟී ආවේය.
එහි එක් එක් ආකාර ද ඉදිරියට ආවේය. පොලිතීන් එහෙම අයෙකි. ප්ලාස්ටික් ෂොපින් බෑග්, කැරියර් බෑග්, ග්‍රොසරි බෑග් සහ සාප්පු බෑග් ලෙස ලෝකයා නමක් භාවිත කරන්නේ සිල්ලර වෙෙළඳ සලේ සිට අවසන් පරිභෝජනය සඳහා යමක් රැගෙන යන පොලිතීන් බෑග් වෙතය; මෙහෙ ඒ සඳහා යෙදෙන නම සිලි සිලි බෑග්ය.
මේ තැන දක්වා දුර එන්නේ, එදා කාල් සීග්ලර් කළ සොයා ගැනීමය. හෙතෙම ඒ සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගන්නේය. රහසක් ලෙස රැක ගත යුතු යැයි මුලදී සිතු දේ 2007 දී ගෝලීය වශයෙන් ටොන් මිලියන 30කට වැඩි පරිමාවකට ළඟා විය. ඉන් පසු ගණනය ද අපහසු තරමට එහි පැතිරීම වේගවත් විය.
අපි ඒ කාලයේ බූන්දි ආදියේ සිට හැම දෙයක්ම රැගෙන ගියේ පාප්ප ගා අලවන ලද කඩදාසි බෑගයේය. ඒ තැන අද අත්පත් කරගෙන ඇත්තේ පොලිතීන් බෑගයය. මේ සා පොලිතීන් බෑග් කන්දක් දසත හමා යන විට, පරිසරය එහෙම්ම හාන්සිය. දැන් අපේ ශරීර කූඩුවේ අඩු වැඩියට ද පොලිතීන් එකතු වී තිබේ.
ප්‍රථම වරට මිනිස් රුධිරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවූයේ 2022 වසරේය. විද්‍යාඥයෝ පරීක්‍ෂාවට ලක් කළ පුද්ගලයන්ගෙන් 80%කගේ පමණ රුධිරයේ කුඩා ප්ලාස්ටික් අංශු සොයා ගැනීම සමඟ, එයින් හැදෙනා ලෙඩේ කුමක් දැයි සොයා ගැනීමට බැරි තැනට වැඩේ පත්ව තිබුණි. මේ හේතුවෙන් වසරකට මිලියන ගණනක්, මරණ සිදු වෙතැයි අනුමාන කරන්නේය. එසේ වෙතත් ඒ සඳහා හේතුව ප්ලාස්ටික් බව තහවුරු කර ගැනීමේ විධිමත් යන්ත්‍රණයක් නැත්තේය. මේ නිසා ප්ලාස්ටික් තවම සිටින්නේ අනියම් මරණ සඳහා වගකිවයුතු කාණ්ඩයේය. ළදරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මල මූත්‍රා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, ඒවා ප්ලාස්ටික් අංශු ද සහිතව නිකුත්වී ඇති බවය.
තත්ත්වය එසේ නම් මේ උවදුර සඳහා අප සූදානම් විය යුතුය. එහෙම කියූ පළියට වැඩේ පහසු නැත. සුපිරි වෙෙළඳ සලට ගොස් බඩු ගත් වන ඒවා කාණ්ඩ සඳහා වෙන් කර වෙන වෙනම පොලිතීන් බෑග් සඳහා අසුරන්නේය. මෙයින් 1%ක් වත් යළි භාවිතයට ගැනෙන්නේ නැත. ඔය කුණු ගොඩ දිරා යන්නේ ද නැති බැවින් අපේ ලෝකය තුළ පොලිතීන් ගොඩ ගැසී ඇත්තේය. කොතරම් දැනුවත් කළ ද සමහර දේ සම්බන්ධයෙන් මිනිසා පාඩමක් ඉගෙන ගන්නේ මට්ටු වීය. එක්කෝ මට්ටු කළ යුතුය.
සිලි සිලි මලු සඳහා මෙතුවක් කල් සුපිරි වෙළෙඳ සල මුදලක් අය කළේ නැත. ඒ නිසා ඇති පදමට ඒවා ගෙදර ගෙන යෑමට අප සියල්ලෝ පෙලඹී සිටියෝය. ‘නිකං ලැබෙන විට අපිට මොකෝ’ යන න්‍යාය අනුව සිලි සිලි මලු ගෙදරට ගෙන යෑමට ඉඩදීමේ ප්‍රතිඵලය වන්නේ, වැඩේ සීමා නොමැතිව ඉදිරියට යෑමය.
පාරිභෝගික භාණ්ඩ ගෙන යෑමට වෙළෙඳ සල්වලින් ලබා දෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙරේදා පවසන්නේ මේ වසංගතය නිමා කිරීමේ පළමු පියවර ලෙසය.
එම තීන්දුව අගනේය. මෙච්චර කියලත් මට්ටු වෙන්නේ නැත්නම්, නිකන් දෙන එක නවතා හෝ වැඩේ අතට ගත යුතු යැයි සමාජය සිතන හෙයින් පොලිතීන් සඳහා මේ ගත් පියවර අගනා බව මේ තීරුවේ අදහසය.