Home » පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු එංගලන්ත ජාතික පිලකට

පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු එංගලන්ත ජාතික පිලකට

by sachintha
April 17, 2024 1:32 am 0 comment

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අමල් දළුගොඩ ඕනෑම වයස් කාණ්ඩයක් යටතේ එංගලන්ත ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වී සිටී. 2006 වසරේ සිට එංගලන්තයේ පදිංචිව සිටින අමල් දළුගොඩ පසුගියදා එරට අවුරුදු 50න් ඉහළ එංගලන්ත සංචිතයට ඇතුළත් කර ඇති අතර, ලබන මැයි මස 12 වැනිදා ඔහු වේල්සය සමඟ සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ඔහු අවුරුදු 50න් ඉහළ එංගලන්ත පිලට තෝරාගෙන ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි.

කොළඹ ආනන්ද විදුහලෙන් බිහි වූ විශිෂ්ට වමත් පා දඟ පන්දු යවන්නකු වන අමල් 1989 වසරේ සිට 1991 වසර දක්වා ‘ආනන්ද- නාලන්ද සුලෝහිත සංග්‍රාමය‘ පාසල් මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කර ඇති අතර, පසුව සීසීසී ක්‍රීඩා සමාජය සහ බදුරඑළිය ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් අන්තර සමාජ ක්‍රිකට් තරග බිමේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

‘ගිය අවුරුද්දේ ලැන්කෂයර් ප්‍රාන්ත කණඩායමක් සහ නවසීලන්ත කණඩායමක් අතර තිබුණු සුහද තරගයකට ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ තරගයේදී ලැන්කෂයර් පිලේ නායකයා විදිහට කටයුතු කළ ක්‍රීඩකයා තමයි අවුරුදු 50න් ඉහළ එංගලන්ත පිලේ නායකයා හැටියටත් කටයුතු කළේ. මම ඒක දැනගෙන හිටියේ නෑ. පසුව එයා මට දිගටම පුහුණුවීම්වලට එන්න කියලා ආරාධනා කළා. ඒ අතරතුර එයාලා මගේ පුරවැසිභාවය ගැන හොයලා බලලා තිබුණා. මම ඒ වන විට එංගලන්තයේ පුරවැසිභාවය ලබාගෙනයි තිබුණේ. ඒ විදිහට තමයි මාව අවුරුදු 50න් ඉහළ එංගලන්ත සංචිතයට තෝරා ගත්තේ. මේ වෙද්දී මම පුහුණු සැසි කිහිපයකටම සහභාගි වෙලා තියෙනවා. ලබන මාසයේ වේල්සයේ කණ්ඩායමට එරෙහි තරගයේදී මම පළමුවතාවට එංගලන්තය නියෝජනය කරනවා. ඊට පස්සේ අපිට ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව එක්ක තුන්කොන් තරගාවලියක් තියෙනවා. අවුරුදු 50න් ඉහළ මීළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ. මගේ උපන් භූමියේ මට හුරුපුරුදු ක්‍රීඩාංගණවල පැවැත්වෙන නිසා තමයි මේ අවස්ථාව මට ලැබුණේ.‘ අමල් දළුගොඩ ‘දිනමිණ‘ කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණද, මේ වන විට එය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දමා ඇතැයි වාර්තා වේ. මෙවර අවුරුදු 50න් ඉහළ එංගලන්ත පිලට තෝරාගෙන සිටින ක්‍රීඩකයන් අතර එකම ආසියාතිකයා ද වන අමල් දළුගොඩ දශකයකට වැඩි කාලයක් ලැන්කෂයර් ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් ක්‍රීඩාවේ නිරත විය, හෙතෙම ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස තුන්වැනි ශ්‍රේණියේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු මැන්චෙස්ටර් නුවර බෝල්ටන් දිස්ත්‍රික් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT