කැරට් මිල දෙදහට නැග්ග සැණින්, රත්රන් කැරට් යොදා මනිනු ලබන්නේ ඇයිදැයි අප තේරුම් ගත්තේය. කැරට් එහෙම ගිනි ගණන් ගියේ, මගදී කඩා වැටුණු වැස්ස නිසා, අලය කුණුවීමට ගත් වනය. ඔය වැනි තත්ත්වයක් හෝ තේරුම් ගෙන වගා කිරීමට නොහැකිය කියන්නේ වාණිජ වශයෙන් කෘෂිකර්මය කරනවා බොරුය. මේවා නිවාඩු කාලයට පාසල් ළමෝ පැළ ඉන්දනවා වගේ වැඩ නොවේය. අපේ ගොවිතැන තාම ගොවි යුගයෙන් අඩියක් විතර මිස මීටරයක් හෝ එළියට ඇවිත් නැත්තේය. යැපුම් කෘෂිකර්මය කියන්නේ ගොවිතැනේ ප්‍රාථමික තැනය.
මිනිසා දඩයම් යුගය නිමා කර වවා කියාගෙන කෑමට ගිය කල්හි, ගෙදර සිටින සියලු පිරිවර සමඟ පොළොව කොටන්නට වූහ. අස්වැන්න නෙළා ගන්නේ තම ආහාරය පිණිසය. එහි වැඩිපුර යමක් ඇත්නම් හුවමාරුව සඳහා යොදා ගත්තේය. වගා පාළු වූ කල්හි කාලා හමාරය. මේ තත්ත්වයමැ නුවරඑළියේ කැරට් ගොවියා තවම පවත්වාගෙන යන්නේය. යැපුම් කෘෂිකර්මාන්තය ආකාරයෙන් වාණිජ වගාවක් කරනවා කියන්නේ ‘හමන සුළං මකුළු දැලෙන් නවතන්න ද මං’ කියා අසන්නා බඳුය. තාක්ෂණික විද්‍යාත්මක ක්‍රමයට මරදානේ කැරට් වවන්නේය. එහි කිලෝවක මිල රුපියල් දෙසීය තිහකට ආසන්නය. මෙවන් තැනකට යා නොහැකිය කියන්නේ, තවම අපේ වගාව ඇත්තේ මල්වතු ඔය ආශ්‍රිතව, ශිෂ්ටාචාරය ආරම්භ වන කාලයේ බවය. වැස්ස, අව්ව ආදී සාධක මත්තේ ගොවිතැන කරනවා කියන්නේ තවමත් අප ජනාවාස නොවූ තත්ත්වයක පසුවෙනවා වැනිය. එහෙම සෙල්ලම් රටක් සමඟ කළ නොහැක්කේය. මේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවනවා කියන්නේ සපුරාම බලහත්කාර ප්‍රයත්නයක් විය යුත්තේය.
කැරට් මිල ඕසෙට වැඩි වූයේ වගා හානිය නිසාය. එය දකින අනෙක් ගොවියන්ට මතක් වන්නේ ‘කහ’ය. කහ ආනයනය තහනම් කළ විගස, රටේ හැමතැනම ‘කහ’ විය. ගෙදර පෝච්චි ගානේ කහ වගා කළේය. දැන් කහ කතාව නිමියැ. ඊළඟට එනු ඇත්තේ කැරට් වසන්තය ය. මේ දිනවල කැරට් බීජ සඳහා පොරයක් ඇත්තේය. අනෙක් වගා පැත්තක තබා දැන් සියලු ගොවීහු කැරට් වවන්නාහ.
ඔහොම රැලි බලා වගා කළ විට හාන්සි වන්නේ පොකුරු පිටින්ය. කිසි සැලසුමක් නැත. මිල බලා, ළඟ නවා, වගාවක් කරන්නේය.
ඔය ආකාරයට කැරට් වගා කළාට කම් නැති හේතු දෙකක් තිබේ. මේ රටේ දෙකෝටි හැටලක්ෂයක් සිටින්නේ හාවෝ නම් එහෙම කැරට් වැව්වා කියා අවුලක් නැත. මේ රටේ ප්‍රධාන ආහාරය කැරට් නම් එහි ද අවුලක් නැත. එහෙම කැරට් වවා, පලදාව එන්නේ එක විටය. වාරේ අවාරේ යන සීමාව තවමත් අපේ කෘෂිකර්මාන්තයේ ලොකු සලකුණකි. වාරෙට පලය එළියට එන්නේය. ඒ ලෙස හැමතැනම පලදාව රජ කරන විට ‘බඩුවේ’ මිල අඩුය. වවා කියා ගැනීම සඳහා ගිය වියදම්, ප්‍රවාහන ගාස්තු සමඟ බලන විට වැඩේ අතිනුත් පාඩුය.
එහෙව් අකරතැබ්බයක් වූ සැණින් තැළිය හැකි හොඳ හමක් මෙහි තිබේ. ‘දෙසිය විසිපහ අඩු කිරීම තුන’ට උඩ පැන පැන නෙළීම මේ සඳහා විසඳුමය. ප්‍රශ්නය පත්තු කරන්නේ ‘තුනය’. ඔවුහු දෙසිය විසිපහට හසු නොවන ආකාරයට ‘කළුවර අඳුන ගාගෙන’ සිටිති. අමතර විසඳුම් රැගෙන, ‘අඩු කිරීම තුන කල්ලිය’ ගොවි බිම් බලා ඇදෙන්නේය. ගොවියෝ ටික අමුඩ ගස්සා, කොටුවේ ඕල්කට් මාවතේ, දිග එළි කරන්නාහ. නායක සහෝදරයෝ, ඩෙනිම් සහ බ්‍රෑන්ඩඩ් ඇඳ වැඩේ මෙහෙය වන්නාහ.
තව ටික දොහකින් ‘කිලෝව රුපියලටත් විකුණා ගන්න බැරිව – නුවරඑළියේ කැරට් ගොවියෝ පාරට බසිති’ , ‘දඹුල්ලේ කුණු කැරට් කන්දක්’ ආදී හෙඩිම්, මාධ්‍යයේ පළ වෙනවා ඇත. එතැන් සිට ආණ්ඩුව රැල්ය. කැරට් වගා කිරීමට කිව්වේ ආණ්ඩුව සේ ගොවි ප්‍රශ්නය ‘එළවළු’ ලෙස ගෙන ‘දේශපාලන බතට’ අනාගෙන කන පිරිස පාරට බසින්නාහ.
ගොවියාට හොඳ මිලක් ලැබෙන්නේ, එළවළු මිල වැඩිවූ කල්හිය. ඒ චක්‍රය අනෙක් පිටට ආණ්ඩුවට කැරකෙන්නේ ‘දැන් එළවළු දෙකක් ගන්න දාහක් මදි’ කියමින්, පාරිභෝගිකයා වැළලෙන්නට හදන විටය. ඒ සමඟ ‘අඩු කිරීම තුන’ ගස් පැනීමේ සෙල්ලම ආරම්භ කරති. ‘ගොවි ගහ’ අතහැර පාරිභෝගික ගහට’ පැන ගන්නාහ. ‘බඩු මිල අඩු කරනු…!’ සහ ‘වැටුප් වැඩි කරනු…!’ යන සටන් පාඨ දෙක පාරට එයි. මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කන බොන එකේ සිට ඇදගෙන, ජනතා කෝපාග්නිය අවුළුවා ලයි. එතැනද ‘දෙසිය විසිපහ අඩු කිරීම තුන’ සුන්ය.
මේ තීරුවේ මාතෘකාව එන්නේ, අගටය.
ගොවි බිම් වෙත පැමිණ වෙළෙන්දෝ, ඒ ‘ප්‍රයිස්’ තකන්නේ නැත. තම අභිමත ‘කුණු ලංසුවම’ තබති. හිරවුණු සැණින් ගොවියා ද අර උගුලේ දැවටෙයි.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන්, වී එකතු කරන්නන්ට රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීම් සිදු කළ යුතු බවත්, එය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඒකාබද්ධව අධීක්ෂණය කෙරෙන බව ද එම අමාත්‍යාංශය අවධාරණය කර තිබේ. එහෙම තියාගෙන රන් අස්වැන්න, අඩුවට නොවිකුණන ලෙස දැන් තියාම අවධාරණය කිරීමට මේ තීරුව කැමැත්තේය.