Home » බක් මස ළසඳ දල්වයි රටක අරුණලු

බක් මස ළසඳ දල්වයි රටක අරුණලු

by sachintha
April 12, 2024 1:11 am 0 comment

දැන් එහෙමට සිදු කරන්නේ නැති වුවද අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ‘නව සඳ බැලීමේ’ චාරිත්‍රයෙන්ය. ‘අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.’ කියා ඊයේ දිනයේ, අලුත් අවුරුදු චාරිත්‍ර හි සමාරම්භය සනිටුහන් විය. එහෙම වූවාට වැඩි දෙනා ‘නව සඳ’ ඊයේ බලන්නට ගියේ නැත. සඳ බල බලා ඉන්නවාට වඩා අපේ ජීවිත සඳහා දැන් වැඩ ඇත්තේය. අවුරුද්ද කියා ද නිස්කාසුවක් නැත්තේය. කීයක් හරි හොයා ගන්නා ගේම අතරේ අවුරුදු ලබන විට එය ද ජයට සැමරිය යුතුය. මේ නිසා අලුත් අවුරුද්දේ ගෙදර පිරිස සමඟ කැවුම්, කිරිබත් කා නෑයන්ගේ ගෙවල් ආදියේ යෑම සඳහා ‘වතක්’ වුවමනාය. ඒ වෙනුවෙන් කීයක් හෝ වැඩිපුර සොයාගත යුත්තේ හෙයින්, පරණ අවුරුද්දේ වුවද අපි මහන්සි ගන්නෙමු. එහෙම කොට චාරිත්‍ර හි ප්‍රධාන නොවන අංග ‘මිස් වන්නේය’. නව සඳ බැලීමට සිද්ධ වී ඇත්තේ ‘ඒ ආනිසංසය’. සංස්කෘතියේ හැටි එහෙමය. කාලයේ තාලයට පැද්දී, සමහර සංස්කෘතික අංග, කැන්සල් වන්නේය. සමහර ඒවා සඳහා ‘ නව මුහුණුවරක්’ ලැබෙන්නේය.

‘නව සඳ දිහා බල බලා…’ අලුත් අවුරුද්ද ආරම්භ නොකළාට, අලුත් අවුරුදු අපි ජයට සමරන්නෙමු. ප්‍රාර්ථනා යාය අප ආරම්භ කරන්නේ පරණ අවුරුද්දේ සිටමය. එදා වටේටම ‘ලබන්නාවූ’ යැයි පටන්ගත් පැතුම දැන් එන්නේ, වට්ස් ඇප් එක පිරෙන්නටය. චාරිත්‍ර එහෙම සිය හැඩය සමාජයට අනුව ගළපා ගන්නේය. එහෙම වුවද පැරණි අංග අමතක නොකරන්නේය. මේවා අවුරුදු අසිරිය ය.

මේ තීරුව දින ගණනක් ‘අලුත් අවුරුද්දේ කතාව’ පළ කළේය. අප සමාජයක් තුළ ජීවත් වන්නේ මූලික ජෛවීය අවශ්‍යතා පෙරටු කරගෙන පමණක් නොවේ. මිහිකත වටා වායුගෝලය ඇත්තේ යම් සේද, අපේ ජීවන ලෝකය වටා සංස්කෘතිය ඇත්තේය. ‘සමාජයට බම්බු ගහගන්න කියලා ජීවිතය විඳින’ සත්ත්ව කොට්ඨාසයක් සිටින්නේ, ෆේස්බුකියේ සහ නන්නත්තාර ලෝකයේය. අප ජීවත් වෙන ලෝකය සියල්ලෝ අටසිල් හෝ අවමය වූ පන්සිල් රකින්නේ නැති වුවද සංස්කෘතික ලෝකයේ ජීවත් වන්නෝය. එහෙව් මිනිස්සු සමාජයට වහසි බස් දොඩවා සිංහල අවුරුද්ද වැනි සංස්කෘතික අංග ගැරහීමට පාත්‍ර නොකරන්නෝය.

මේ තීරුව අද සිය අවධානයට පාත්‍ර කරන්නේ ‘නව සඳ’ බැලීමය. එම චාරිත්‍රය බලෙන් ඉටු කරවීමට යෑමේ අපේක්ෂාවක් අපට නැත. නව සඳ දෙස බලා මේ රටට අලුත් සඳක් පායන බව කීමේ වුවමනාවක් අපට ඇත්තේය.

සඳ කියවූ කල්හි ‘එදා සඳ සහ මෙදා සඳ’ නම් දෙකක් ඇත්තේය. දැන් අපට පෙනෙන සඳ හා කවි ඇසින් දුටු හෝ සස ජාතකයේ දම් ඇසින් දුටු දේ නොවේය. අද අප දකින්නේ මිනිසා පා තැබූ සඳ ය. ඒ සඳ ගවේෂණය කරන්නාවූ යමකි. ඒ ඇසින් නව සඳ දිහා නොබලනු මැනවි කියන්නේ, අපේ බලාපොරොත්තුව සඳහා විදු ඇසින් දුටු සඳට සම්බන්ධයක් නැත්තේ හෙයිනි.

අප මේ ගත කරන යුගය ‘නව සඳ’ බලා, අපල දුරු කරගත හැකි යමක් නොවේ. එහෙව් ආස්ථානයක හිඳ වුවද කිව හැක්කේ මේ ගන්නාවූ උත්සාහය තුළ ‘අදට වඩා එළිය හඳක්’ හෙට පායනු ඇත, කියාය.

කාලාන්තරයක් තිස්සේ කළමනාකරණය නොකරන ලද ආර්ථිකයක සියලු බර අවසානයේ රට බංකොලොත් කරන ආස්ථානය දක්වා ඇවිළ ගියේය. රටක් යනු එහෙම සංවිධිත පද්ධතියක් නොවේ. කොම්පැණියක් සේ රටක් මැනේජ් කළ නොහැකිය. දේශපාලන සංස්ථාව සපුරා වෙර දරා, නිවැරදි පීල්ලේ රට කරගෙන යෑමට උත්සාහ කළේ වුවද, සමාජය එහෙමට නම්මා ගෙන ගමන යා නොහැකිය. ඒ වන, දේශපාලනය ද සමාජයේ හැඩයටම නැමී යන්නේය. අවසාන වගකිවයුත්තා සොයා ජල්ලි අල්ලා දැන් පලක් නැත. අප යන්තම් හුස්ම ගත්තේ මෑතක සිටය. ආර්ථිකය වටා පැතිරී ගිය අමාවක පහසුවෙන් පහ කළ හැක්කේ නොවේ. සඳ කලාව අනුව නම් එය ස්වාභාවික සංසිද්ධියකි. නෝමල් සඳට, සූර්යයා ආලෝකය ලබා දෙන්නේ වුවද , රටක් කළුවර වූ කල්හි ඒ සඳහා ආලෝකය දිය යුත්තේ, ඒ පොළොවේ අයිතිකාරයන්ය. දැන් පැමිණ ඇත්තේ ඒ මොහොතය.

අලුත් අවුරුද්ද යනු අලුත් බලාපොරොත්තුවක් බැව් සුලභ කියමනකි. මේ මොහොතේ රට ඉල්ලන දිශානතිය සඳහා එවන් පුද්ගලානුබද්ධ සඳ බැලීම් ඵලක් නැත. පුරාණයේ සිට බක් මස සඳ සලකා ඇත්තේ සුබ ලකුණක් ලෙසය.

“අගනිති අත් සලව් මෙ ගී පොහොන්තෙක් නැති ද නවබග්ළසන්ද් දුට් මිනිසක්හු නො වජන්නෙයි” නම් සීගිරි ගීයක් ඇත්තේය. නව වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ රචිත යැයි සැලකෙන එහි අර්ථය වන්නේ ‘කතුනි! මේ ගීය වටිනා (එකක් සේ) සලකන කෙනෙක් නැත්තේද? බක් මස නව ළසඳ දුටු අයකු ප්‍රතික්ෂේප නොකට යුත්තේය.’යන්නය. ඊයේ රාත්‍රී අහසේ සඳ උදාව බලා අප නව වසරේ චාරිත්‍ර ආරම්භ කළෙමු. තව හෝරා කිහිපයකින් අලුත් අවුරුද්ද පැමිණෙන්නේය.

ගෙවී ගිය වසර දෙක තුන අප ජීවත් වූයේ අපමණ කැප කිරීම් මධ්‍යයේය. රටේ ජනජීවිතය මුළුමනින්ම කඩා වැටුණු ඒ කාලය දැන් නිමාවට පත්ව තිබේ. මේ ගතවෙන මොහොත වනාහි, රටේ ඉරණම උදෙසා තීරණාත්මක කාලයකි. පාරේ තොටේදී, කඩපිලේදී, කන්තෝරුවේදී කන තරමක් ලණු හෙයින්, රටක් ලෙස ජාතික ආහාරයට ලණු අඹරාගෙන අපට කෑ නොහැකිය. අනාගතය අප දෑත මත සිටින්නේ, අපේක්ෂාව දල්වාගත් නෙත් ඇතිවය. මේ දේශය ‘කැපවීමේ සහ නොරැවටීමේ’ වුවමනාව අප මත්තේ තබා තිබේ. බක් මස නව සඳ උදා වී ඇත්තේ ඒ අවුරුදු පැතුම සිත්හි දරාගෙනය.

ගෙවී ගිය වසරක කාලයක් දිනමිණ සමඟ දැනුම, පුවත් ආදිය බෙදාගත් පාඨක වර්ගයා අපේ ගමන් සගයෝය. දැන්වීම් බෙදාහැරීම් ආදියේ සිට පුවත්පතක් සඳහා ලියැවෙන පළමු අකුරේ සිට එය කියවන මොහොත තෙක් සවිය දුන් ඔබ සැමට මේ බක් සඳ පෑයුමෙන් ආරම්භ වූ නව වසර සසිරි බර වේවා…!

“රටක ගමන සඳහා දිරි දෙන සගයනි, එකාවන්ව මේ මොහොතේ ජාතිය වෙනුවෙන් කැපවෙව්!” යන්න ද සිහිපත් කරමින්, මේ තීරුව අලුත් අවුරුදු නිවාඩුව සඳහා පිවිසෙන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT