Home » ‘බලබෝව අපි’ සංවිධානය කරන අවුරුදු උත්සවය 15 දා

‘බලබෝව අපි’ සංවිධානය කරන අවුරුදු උත්සවය 15 දා

by sachintha
April 12, 2024 2:13 am 0 comment

‘බලබෝව අපි’ සංවිධානය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවල සහයෝගයෙන් 15 වැනි වරටත් සංවිධානය කර අවුරුදු උත්සවය 14 වැනිදා බලබෝව උලුදෙනියවත්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.

විවෘත පා පැදි සවාරිය සහ ජන ක්‍රීඩා රැසකින් මෙය සමන්විත වේ. එදින රාත්‍රි DJසංගිත සංදර්ශනයක් ද පැවත්වෙයි.

බක්මහ උළෙල හා සංගීත ප්‍රසංගය ඉරිදා දෙල්දූව විද්‍යාලයේදී

කළුතර මධ්‍යම විශේෂ

කළුතර, වාද්දුව, දෙල්දූව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අප්‍රේල් 14 වැනිදා දවස පුරා ‘අවුරුදු සිරි’ නමින් බක්මහ උළෙලක් පැවැත්වේ.

එදින පෙ.ව. 7.00ට අවුරුදු 40ට වැඩි පිරිමි ගම හරහා දිවීමෙන් බක්මහ උළෙල ආරම්භ වේ. එදිනම පිරිමි පා පැදි ධාවන තරගය ද පෙ.ව. 8.00ට ආරම්භ කෙරේ. කොට්ට පොර, ලිස්සන ගසේ නැගීම, කඹ ඇදීම, බනිස් කෑම, ගෝනියේ බැස බාධක දිවීම ඇතුළු විනෝදාත්මක ක්‍රීඩා රැසක් එදින දැකබලා ගැනීමට හැකිය. එදින රාත්‍රී මහා සංගීත සංදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

දෙල්දූව ප්‍රදේශවාසීන් සමඟ ව්‍යාපාරික ප්‍රජාව මෙය සංවිධානය කර ඇත.

හීන්කෙන්ද ශ්‍රී පුෂ්පාරාම විහාරයේදී අවුරුදු පොළක්

හීන් කෙන්ද ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ ධම්මපාල දහම් පාසලේ සිසුන් විසින් අවුරුදු පොළක් පවත්වනු ලැබිණ.

විහාරාධිපති අරටු මැඩිලියේ ඉන්දරතන හිමියන් මෙය සංවිධානය කර තිබිණ.

ඡායාරූපය සුදත් මලවීර

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයෙනුත් අවුරුදු උත්සවයක්

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ (11) දින බන්ඩාරවෙල නලින් ප්‍රියන්ත සූරියගේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 14කට අයත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල අයත්, සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසකුත් සහභාගී වූහ. මෙහිදී කුඩා දරුවන් සඳහා ටොෆි ඇහිඳීම, සගයාට කිරි කැවීම, බනිස් කෑමේ තරගය, බැලුම් පිපිරවීම, පිටිවල සතය සෙවීමේ ඇතුළු තරග රාශියක් මෙන්ම වැඩිහිටියන් සඳහා ක්‍රිකට් තරග, හැන්ද මත දෙහි ගෙඩිය රැගෙන යෑම කඹ ඇදීම, ගම හරහා දිවීම කාන්තා පිරිමි ඇතුළු තරග රාශියක් පැවැත්විණි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරී ඩී.බී. එච් කළණසිරි, සහකාර පොලිස් අධිකාරී රුවන් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්, ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.


කටුනේරියේ ධීවර අවුරුදු උලෙළ

පුත්තලම සමූහ – ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු

මහමුහුද ආශ්‍රිත විවිධ තරග ඉසව්වලින් සමන්විත වූ ධීවරයන්ට පමණක් සීමා වූ ධීවර සිංහල අලුත් අවුරුදු උත්සවයක් කටුනේරිය මුහුදු වෙරළේදී පැවැත්විණ.

කටුනේරිය ආරෝග්‍යමාතා ධීවර සමිතිය සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවයට කටුනේරිය හා අවට ප්‍රදේශවල ධීවරයන් විශාල පිරිසක් සහභාගී වූහ.

මසුන් ඇල්ලීමට බිලී බෑම, පිහිනුම් තරග ඇතුළු තවත් තරග රාශයකින් මෙම ධීවර සිංහල අවුරුදු උත්සවය සමන්විත විය.


කොටුව බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේ බාලදක්ෂ සූර්ය මංගල්‍යය දා

නුවන් කොඩිකාර

හෙළ සිරිතට විරිතට මුල්‍තැන දෙමින් මෙවර බක්මහේ සූර්ය මංගල්‍යය ගාලු දිසා මානවක සමාජය විසින් ඉතා උත්කර්ෂවත් අයුරින් කොටුව බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

දිසා කොමසාරිස් උපුල් කලංසූරිය මහතාගේ මූලිකත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්, විධායක කමිටුවේ නිලධාරීන්, දිසාවේ සියලුම අංශ නියෝජනය කරමින් බාලදක්ෂ ආචාර්යවරුන්, සිඟිති ,පෝතක, බාලදක්ෂ හා මානවක බාලදක්ෂයන් මෙන්ම මවුපියන්ගේ ද සහභාගීත්වයෙන් අලංකාරවත් අයුරින් 2024 සූර්ය මංගල්‍යය පවත්වා තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT