Home » ඉදිරියේදී ඕනෑම ඡන්දයක් දිනන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වමේ බලවේගයයි
කවර අභියෝග එල්ල වුණත්

ඉදිරියේදී ඕනෑම ඡන්දයක් දිනන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වමේ බලවේගයයි

by sachintha
April 17, 2024 1:47 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව මේ මොහොතේ කවර බාධක අභියෝග එල්ල වුවද, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික බලවේග ප්‍රමුඛ සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සහ එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය. සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපති ධුරයට එරෙහිව වාරණ නියෝගයක් ගනිමින් සහ පාක්ෂිකයන් කිසිවකුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම වළක්වා ලමින් එක් කණ්ඩායමක් ක්‍රියාත්මක කර තිබෙන කුමන්ත්‍රණය සැබෑ ලෙසම පක්ෂයට ආදරය සියලු දෙනා දැඩි ලෙස හෙළා දකින බවද එවැනි කුමන්ත්‍රණවලින් පක්ෂය කඩාවැට්ටවීමට කිසිවකුට නොහැකි බවද තිලංග සුමතිපාල මහතා මෙහිදී අවධාරණය කළේය. මේ වන විට පක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වසා දැමීම ඇතුළු විවිධ උපක්‍රම දියත් කරමින්, පක්ෂය වළ දැමීමට කිහිප දෙනකු උත්සාහ කළත්, පක්ෂයට සැබෑ ලෙස ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසි සේත්ම ඊට ඉඩ නොදෙන බවත්, ඔවුන් අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් පෙරට එන බව අද දවසේ ඔප්පු වූ බවත්ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසාදමා තිබීමෙන් සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු පාක්ෂිකයන්ට, සංවිධායකවරුන්ට සහ කාර්යාලයේ සේවක සේවිකාවන්ට පක්ෂයේ නායකයන් හමු වී සුබ මොහොතින් වැඩ රාජකාරි ආරම්භ කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීම ඉතා කනගාටුවට කාරණයක් බවද තිලංග සුමතිපාල මහතා පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගය ගැනීමේදී ඉදිරිපත් කර ඇති කරුණු අතර,ඔහු පක්ෂයේ මතයට හෝ අභිවෘද්ධියට එරෙහිව ක්‍රියා කර ඇති බවට කිසිදු කරුණක් අඩංගු නොවන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂවලට අයත් දේශපාලන පක්ෂ නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT