ඩක්කුවේ ගැටලුව II

මෙතෙක් කතාව:

ෆිලිපා ෆූට් විසින් ඉදිරිපත් කළ 'ඩක්කුවේ ගැටලුව' යනු ව්‍යසනයකදී කළ යුතු දේ ගැන කතිකාවකි. කිසියම් විශාල හෝ ප්‍රබල පිරිසකට වන හානිය වළකන්නට ඇති එකම පිළියම කුඩා හෝ දුබල පිරිසක් කරා ඒ ව්‍යසනය හරවා යැවීමයි. එසේ කළ විට විශාල පිරිස බේරෙන මුත් අහක හිටි කුඩා පිරිස වැනසෙයි. යුක්ති ධර්ම අනුව එසේ අනුන්ගේ යහපත වෙනුවෙන් කාව හෝ බිළි දීම නිවැරදිද?

ටෙස්ලා ස්වයං ධාවක මෝටර් රථ නිපදවීමේදී මේ ගැටලුව විසඳීම අත්‍යවශ්‍ය විය. එය විසඳීම යශ්වාන්ත් පටෙල් නම් ඉන්දියානු ඉංජිනේරුවා අතට පැවරුණි.

ඉන්පසු බොහෝ කල් ගත විය.

.........................................................................

අභ්‍යවකාශගත වී හුන් සති කීපය මුළුල්ලේ ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් කළේ ගැමා කිරණ පිපිරුම් ගැන අධ්‍යයනය කිරීමයි. අභ්‍යවකාශ විද්‍යාව හෝ භෞතික විද්‍යාව ඇයගේ විෂය පථයට අයත් ඒවා නොවේ. එහෙත් මේ මෙහෙයුම උදෙසා ඒ දැනුම අත්‍යවශ්‍ය වේ. දර්ශනවේදය ගැන ප්‍රකට ෆිලිපා අභ්‍යවකාශ මෙහෙයුමක ප්‍රධාන නිලධාරිනිය වීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. එහෙත් ඇයගේ පසුබිම විමසන ඕනෑම කෙනෙක් ඇය හරහා ඇගේ පියා ගැන කියවා ඩක්කුවේ ගැටලුව ළඟ නතර වේ.

ටෙස්ලා සමාගමේ සම්පත් දායකත්වයෙන් විශාල විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ පර්යේෂණවල ප්‍රතිපලයක් ලෙස යශ්වාන්ත් පටෙල් නම් මිනිසෙකු විසින් නිර්මාණය කල ඩක්කුවේ ගැටලුව පිලිබඳ පටෙල් මූලධර්මය සිය වරක් කියෙව්වද නොවැටහුනි. මේ වන විට කල් ඉකුත් වූ ටෙස්ලා සමාගමේ පේටන්ට් ගත පර්යේෂණ වාර්තා පිටු දහස් ගණන්වලින් ලියවුණු නීරස පොත් විය. ඒවා දර්ශන වාදය, කෘත්‍රිම බුද්ධිය, යුක්ති ධර්ම, මිනිස් හැසිරීම්, මනෝ විද්‍යාව, ඥාන බුද්ධි විද්‍යාව ආදී මෙකි නොකී විෂය ධාරා සමූහයක ප්‍රතිපලයකි. එයින් බිහි වූ පරිගණක වැඩසටහන මෙතෙක් ලියවුණු සංකීර්ණම වැඩසටහනකි. එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දියානු සම්භවය ඇති මිනිසෙක් නොබෙල් සම්මානයක් දිනා ගත්තේය. ස්වයං ධාවක මෝටර් රථ මානව ගමනාගමනය නව මං පෙතකට ගෙන ගියේය. අම්මලාගේ විවාහ යෝජනා විශාල ගණනකට පයින් ගැසූ මැදිවිය ආසන්න යශ්වාන්ත් පටෙල් සහ පර්යේෂණයට සහභාගි වූ ආචාර්ය ට්‍රේසි ස්මිත් විවාපත් වී ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් නම් සුපිරි මොළය ලෝකයට දායාද කළහ.

අද ඒ සුපිරි මොළය සිය පියා මූලිකව බිහි කළ පටෙල් මූලධර්මය හොඳින්ම අවබෝධ කරගත් අතලොස්සෙන් කෙනෙකි. එසේම මිනිස් මනෝ විද්‍යාව ඇතුළු මිනිසාට ආවේනික වූ දැනුම මත පදනම් ව කාර් දුවන්නට හැදු එම මූලධර්මය ඕනෑම ජීව ප්‍රජාවකට සාපේක්ෂව ඕනෑම අවස්තාවකට යොදාගත හැකි දර්ශනවාදයේ මූලධර්මයක් කරා දිගු කළේ ඇය විසිනි.

'ගැමා කිරණ පිපිරුමක් කියන්නේ මියයන තාරකාවක් හෝ එකිනෙක හා වෙන නියුට්‍රිනෝ තාරකා යුග්මයක් තමන්ගේ ගුරුත්ව සීමා බිඳලන මොහොතක නිකුත් කරන සුවිශාල ශක්ති කදම්භයක්. එය ගමන් කරන්නේ අදාළ පද්ධතියේ භ්‍රමණ අක්ෂය දිගේ ඉතා සිහින් කදම්භයක් ලෙස ආසන්නව ආලෝකයේ ප්‍රවේගයෙන්. මෙතෙක් අප නිරීක්ෂණය කළ විශාලම පිපිරුම් වර්ගය වන මෙයින් තත්පර කිහිපයකදී නිකුත් වන ශක්තිය තාරකාවක් තම ජීවිත කාලයක් තුළ මුදා හරින ශක්තියට සමානයි. ක්ෂිරපථය තුළ සිදු වූ ගැමා කිරණ පිපිරුමක ගමන් පථයට හසු වූ නිසා වසර මිලියන හාරසිය ගණනකට පෙර පොළොවේ ගොඩබිම සහ නොගැඹුරු මුහුදේ සියලු ජීව ප්‍රජාවන් විනාශ වූ බවට සැක කෙරෙනවා'

ෆිලිපා ට අවශ්‍ය මූලික දැනුම සපයන පරිගණක මොඩියුලය පැහැදිලි කරයි.

'ඒ කදම්භයේ ගමන් මගෙහි පවතින බොහෝ දේවල් විනාශ කරන්න සමත් වෙනවා. ඉතාම ආසන්නයේ එනම් ආලෝක වර්ෂයක් දෙකක් වගේ දුරින් පිහිටි ග්‍රහලෝකයක් ඒ මාවතට ආවොත් එය සපුරා ධූලි බවට පත්වන්න පුළුවන්. ආලෝක වර්ෂ සිය ගණනක් දුර සිදු වන පිපිරුමකින් පවා ගොඩබිම් සහ නොගැඹුරු ජලයේ වෙසෙන ජීවින් සපුරා වඳ වෙන්න පුළුවන්. ආලෝක වර්ෂ දස දහස් ගණන් ඈතින් එන කදම්භයක් පවා කිසියම් හෝ සලකුණක් ඉතිරි කරන්න තරම් ප්‍රබලයි.'

ෆිලිපා අභ්‍යවකාශ ගත කළ අසාමාන්‍ය සිද්ධි පටන් ගැනෙන්නේ මෙතෙක් හඳුනා නොගත් වස්තුවක් පොළොවට ආසන්න කක්ෂයක නිරීක්ෂණය වීමත් සමඟය. ඉන් පසු ඉතා පැහැදිලි පෘථිවි භාෂාවලින් ඒ ආගන්තුකයෝ මිනිසුන්ට පණිවුඩයක් ලබා දුන්හ. තමන් මන්දාකිණියේ වෙසෙන වඩාත් දියුණු ජීවින් පිරිසක් බවත්, තමන් පැමිණියේ විශාල ව්‍යසනයක් සම්බන්ධයෙන් තම උපරිම වැඩ කොටස සිදු කිරීමට බවත් පවසා සිටියහ. පෘථිවියට ආලෝක වර්ෂ සිය ගණනක් දුරින් දැනටමත් සිදු වී ඇති ගැමා කිරණ පිපිරුමක කදම්භයක් 'නොවැලැක්විය හැකි හේතුවක් නිසා' පොළොව දෙසට හරවා යැවීමට තමන් මෙම කලාපයට පැමිණි බවත් බවත් ඒ නිසා ම පොළොවේ සියලු ජීවය විනාශ වන බවත්, තමන් මේ ගැන කනගාටු වන බවත් ඔවුන්ගේ පණිවුඩයේ අන්තර්ගතයයි.

ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා පණිවුඩ හුවමාරු කරගන්නා නිසා ඔවුන් කදම්භයට වඩා වේගයෙන් පැමිණ මේ පණිවුඩය ලබා දෙන බව සඳහන් විය. ඔවුන්ගේ ගණනය අනුව තවත් වසරක කාලයකින් එම කදම්භය පෘථිවිය පසු කර යමින් එහි සියලු ජීවය දවාලනු ඇති බවයි කියවෙන්නේ.

මිනිසා මේ පණිවුඩය ග්‍රහනය කර ගත්තේ අසීරුවෙනි. එහෙත් නොවැලැක්විය හැකි ව්‍යසනයක් නිසාත්, එය හිතාමතා තමන් දෙසට හැර වූ බවක් කියවෙන නිසාත්, මිනිස් පරිගණක පද්ධති විසින් මෙය ඩක්කුවේ ගැටලුව සහ පටෙල් මූලධර්මය සමග සම්බන්ධ කරන ලදී. ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් මෙහෙයුම භාර නිලධාරිනිය ලෙස පත් කෙරෙන්නේ මේ සම්බන්ධය නිසා ය.

මිනිස් ග්‍රහලෝකය අසල කක්ෂයක කක්ෂගත කර ඇති 'අභ්‍යවකාශ දොරටුව' ඉදිරියේ තම යානය කුහුඹුවෙකු මෙන් දිස් වේ යැයි ඇය සිතුවාය. එහෙත් ඒ දොරටුව ට ඔබ්බෙන් සිටින ජීව ප්‍රජාව ඉදිරියේ මිනිස් වර්ගයා ම කුහුඹු කොලනියකි. මිනිසා තවම දැක නැති, එහෙත් මිනිසාට ග්‍රහණය වන උපකරණවලින් මිනිසා සමඟ කතාබස් කරන මේ අතිශයින් දියුණු පිටසක්වල ජීවින් මෙතෙක් මිනිසා දැන ගන්නා හිතවත්ම සහ හොඳම ප්‍රජාව බව ඇය දැන සිටියාය. බුද්ධියෙන්ද දැනුමෙන්ද ගති ගුණයෙන් ද මිනිසාට ගව් ගණනක් එහා ගිය මේ ප්‍රජාව තමන් වෙත ව්‍යසනයක් තල්ලු කර ඇත්තේ මන්දැයි මිනිසා ට නොවැටහුණි. එහෙත් එම ප්‍රජාව මිනිසා සමඟ කතාබස් කරන බවක් දැනුණු නිසා ෆිලිපා ගේ ගමනේ අරමුණ වූයේ ඒ කිරණ කදම්භය පිලිබඳ එකඟතාවයකට ඒමයි.

'ඔබ පවසන පරිදි ම ගැමා කිරණ කදම්භය ස්වාභාවිකව එල්ල වන්නේ අප දෙසට නොවේ නේද?'

'ඔව් ඔබ නිවැරදියි. එහි ස්වාභාවික මග වැටී ඇත්තේ ඔබේ ග්‍රහ පද්ධතියට මදක් දුරින්'

'එහෙනම් ඇයි ඔබ එය අප දෙසට හරවන්න කටයුතු කරන්නේ?'

'ස්වාභාවිකව එය යාමට නියමිත දිහාවේ වෙනත් දියුණු ශිෂ්ටාචාර පවතිනවා. යන්න දුන්නොත් ඒ ශිෂ්ටාචාර සපුරා විනාශ වීමට නියමිතයි'

'ඔවුන් කොපමණ දියුණුද?'

'ඔවුන් සැහෙන්න දියුණුයි. ඔබේ චක්‍රාවාටයේ මේ අවට තාරකාවල දියුණු ජීවින් සුලබයි. ඔබට ඇත්තම කිව්වොත් ඒ බොහෝ ප්‍රජාවන් ඔබට වඩා ජනගහනයෙන් විශාල ඔබට වඩා දියුණු ජීවින්'

'ඔබ අපව අවතක්සේරු කරනවා නේද?'

'නැහැ ෆිලිපා, අපි ඉතාම සාධාරණ ප්‍රජාවක්. මේ අතිශයින් මධ්‍යස්ත කියවීමක්. තවම මවු ග්‍රහලෝකය ඉක්මවා ජනාවාසයක් හදා ගන්න බැරි, තවම යුද්ධ කරන, අන්‍ය ජීවීන් ගේ ශරීර අනුභව කරන එකම දියුණු ප්‍රජාව ඔබ පමණයි.'

'ඉතින් ...'

'ඉතින් අපි අපේ උපරිම තාක්ෂණ හැකියාව යෙදුවත් ඒ කිරණ නිකුතුව නවතන්න බැහැ, හැබැයි අපේ උපරිම හැකියාව යෙදුවොත් අපට එය හරවන්න පුළුවන්.'

'ඕනෙම අතකට?'

'නැහැ ෆිලිපා ඕනෙම අතකට නොවේ. කිරණ කදම්භයේ ස්වභාවය සහ මේ සඳහා අප යොදා ගන්නා ස්කන්ධවල විසිරිය අනුව අනුව අපිට හැරවිය හැකි දිශා කීපයයි තියෙන්නේ. එයින් අඩුම හානියක් - මම කියන්නේ පොදුවේ සලකා - අඩුම හානියක් වන්නේ එය ඔබ දෙසට හැරෙව්වොත්. මොකද අනෙක් ඕනෑම මාර්ගයක ඔබට වඩා ජනගහනයෙන් වැඩි සහ සාපේක්ෂව දියුණු බුද්ධිමත් ජීවින් ඉන්නවා'

'එතකොට අපි සම්පුර්ණයෙන්ම ඉවරයි'

'මට කනගාටුයි ෆිලිපා එයට ඔව් කියන්න වීම ගැන. මේ උභ‍තෝකෝටික ගැටලුව ගැන අපේ බුද්ධි මණ්ඩල ඉන්නෙත් විවාදයක. එක්කෝ අපි මොකුත් නොකර ඉන්න ඕනේ. එහෙම වුණොත් හොඳම ශිෂ්ටාචාර කීපයක් ඉවරයි. නැතිනම් අපි කදම්භය හරවනවා. එහෙම වුණොත් ඔබේ මරණවලට අපි වග කියන්නේ ඕනේ. කොහොම ගියත් කාට හරි හානියක් වෙනවා. අපි අපේ උපරිම බුද්ධියෙන් හිතුවත් මීට එහාට ගලපා ගන්න බැහැ'

'ඔබ බුද්ධිමත් ජීව ප්‍රජාවක්. ඔබ මේ වගේ දේවල් ගැන කවදාවත් අධ්‍යයනය කර නැද්ද?'

'නැහැ ෆිලිපා. අපි මේ වගේ සංකීර්ණ ගැටලුවකට කවදාවත් මුහුණ දී නැහැ'

'එහෙම නම් හිතවත් බුද්ධිමත් සහෝදරවරුනි අප වැනි එතරම් දියුණු නොවූ ප්‍රජාවක් විසින් - මගේ පියා හෙවත් යශ්වාන්ත් පටෙල් මූලිකව - බිහි කළ දැනුම් පද්ධතියක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඩක්කුවේ ගැටලුව කියලා. ඔබ සූදානම්ද මට සවන් දෙන්න'

'ඔව් ෆිලිපා මේ වෙනුවෙන් ඇහුම්කන් දෙන්න ඔබත් සමඟ පර්යේෂණ කරන්න අපි ඕනෑම මොහොතක සූදානම්'

ඉනික්බිති සිදු වූ සංවාදය බොහෝ දිගු එකකි. මිනිස් දින කීපයක් තිස්සේ ගැඹුරු දාර්ශනික කරුණු කතාවට ගැනුනි. කතාව අවසානයේ සියල්ල අධ්‍යයනය කරන ලද වඩාත් බුද්ධිමත් ජීව ප්‍රජාව පටෙල් මූලධර්මය පිළිගත්හ.

'මට තියෙනවා සුබදායක දෙයක් දැනුම් දෙන්න' ෆිලිපා නැවත පාලක මැදිරිය ඇමතුවාය.

'පටෙල් මූලධර්මය අනුව යමින් හානිය දෙපාර්ශවයට බෙදා දෙන්නට ඔවුන් එකඟ වුණා. එයින් කියන්නේ නැහැ අපි බේරෙනවා කියලා. අපිටත් විශාල හානියක් වෙයි, එහෙත් ඔවුන් අපේ ශිෂ්ටාචාරය විනාශ වන්න දෙන එකක් නැහැ...'

'.. ඒ වගේම ඔවුන් අප ගැන පැහැදුණා. තමන් අපේ බුද්ධිය මනින ලද ක්‍රමය ගැන නැවත සලකා බලන බව ඔවුන් කිව්වා. ඔවුන්ගේ දැනුමට මේ තරම් දෙයක් එකතු කළ වෙනත් ප්‍රජාවක් නැහැ කියලත් කිව්වා. අපිට හැකි තරම් පිරිසක් බේරාගන්න ඔවුන් උපකාර කරනවා. එහෙත් අවාසනාවකට අපිට ඔක්කොම බේරාගන්න වෙන්නේ නැහැ.'

'ෆිලිපා අපි සතුටු වෙන්නද දුක් වෙන්නද? අපි කොහොමද මැරෙන කොටස තෝරන්නේ?'

'මේක හරිම සංවේදී මොහොතක්. දැන් අපි හානිය අවම කිරීම වෙනුවෙන් කාව හෝ බිලි දෙන්න වෙන අවස්තාවක ඉන්නේ. අප අතරින් කවුරු හෝ විශාල පිරිසක් මිය යන්න නියමිතයි. ඉතින් අපි පටෙල් මූලධර්මය ම යොදාගෙන ඉන්න ඕනේ අය සහ මිය යන අය තෝරමු' 'මෙය අසීරු මොහොතක් ෆිලිපා. ඔබ දන්නවා ඇති අපට අපේ හොඳම හිතවතුන් ගෙන් කොටසක් මිය යන්න කැප කරන්න වෙන බව. පවුලක මව පියා දරුවන් අතරින් සමහරු බේරෙන ගොඩට හා සමහරු මියයන ගොඩට තේරෙන්න පුළුවන්. ඒ පවුල්වල ආදරය කරන්නන් එකිනෙකාට සමුදෙන මොහොතක දැනෙන වේදනාව ගැන හිතන්න පවා අමාරුයි'

'ඔව් එපමණක් නෙවි, සමහර අහිංසක ප්‍රජාවන් සතු සම්පත් ඔවුන්ගෙන් වෙන්කර 'තෝරාගත් ප්‍රජාවන්' වෙනුවෙන් යොදවන්න වෙන්න පුළුවන්. යශ්වාන්ත් පටෙල් මගේ පියා සොයා ගත් මූල ධර්මයට මුළු මිනිස් වර්ගයාම ශාප කරාවි'

'මහලු යශ්වාන්ත් මෙයට මොකක් කියයිද?'

'ඔහු හින්දු දෙවියන් අදහන මිනිහෙක්. මිනිස් වර්ගයාගෙන් ලොකු කුට්ටියක ජීවිත වැනසීමේ වගකීම ඔහුට එල්ල වීම දරාගන්න බැහැ ඔහුට. මගේ පියා මට තර්ජනය කළා ඉන්නේ කවුද මිය යන්නේ කවුද කියා තීන්දු කරන්න ඔහුගේ මූලධර්මය යොදා ගත්තොත් ඔහු සියදිවි හානි කරගන්නවා කියලා'

'ෆිලිපා ඔහු අපට කතා කළා. ඔහු බොරුවට නොවේ එය කියන්නේ'

'ඔව්, මම දන්නවා. ඔහු මගේ පියා. ඔහු මේ ලෝකේ මම දන්නා හොඳම මනුස්සයා. මට වාවා ගන්න බැහැ මට මෙහෙම කියන්න වුණාට. පටෙල් මූලධර්මයට අනුවම සිතුවොත් ඔහුගේ හිතේ ඇති වන සිය දිවි හානි කරගන්න සිතිවිල්ල වලකන්න අපි මේ විනාශයට ඉඩ දීලා බලා ඉන්න එකේ තේරුමක් නැහැ. අපිට තියෙන්නේ කෙටි කාලයක්. ඔබ ඉක්මනට වැඩ පටන් ගන්න...'

මෙතෙක් පාලනය කළ කඳුළු දෝරේ ගලන්නට ඉඩ දුන් ෆිලිපා ඉකිගසමින් කතාව නිම කළාය.

'... අපි ශිෂ්ටාචාරය බේරගමු. යශ්වාන්ත් පටෙල් සියදිවි නසා ගත්තදෙන්'

සුජීව කොකාවල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...