ශුද්ධ වූ යුද්ධය | දිනමිණ

ශුද්ධ වූ යුද්ධය

දෑස් ගිනිකන වැටෙන එළියෙන් මිදෙන්නට දෝ දරෙක් හෙවනක නතර විය. හිස තුළින් එන අසාමාන්‍ය එහෙත් දැරිය නොහෙන වේදනාව මරණයේ පෙර කැඳවීමක් බව ඔහුට සිහි විය.

අගාධයේ අඳුරු දෝනාවක මඩ අතර බඩගා යන මිනිසුන් දෙදෙනෙකි. සන්නාහ රහිත සිරුරු මත පිළියම් නොකළ පිළිස්සුම් තුවාල දැක ගත හැකිය. එහෙත් ඒ තුවාලවලට පිළියමක් අවැසි නැත. මේ ගමනේ ආපසු ඒමක් නැත.

දඟර ගැසුණු දෝනාව බොහෝ දුරකට දිවේ. දළ මෙවලමින් හෑරූ පාංශු බිත්ති තැනෙක කඩා වැටී ඇත. හැරෙන හැම වංගුවකම මරු සැඟව සිටිය හැක. හෙල්ල පහරකට ඕනෑම මොහොතක සූදානමින් සිටිය යුතු වේ.

මේ ගමන සැලසුම් කළ එකක් නොවේ. සියල්ල පටන් ගත්තේ පෙර දිනයේ අහම්බෙන් එල්ල වූ හදිසි සතුරු ප්‍රහාරයකිනි. ඒ මොහොතේ දරෙක් සහ රපී හුන්නේ කතා බහකය.

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න අරුන් අපේ දෝනා පහක බලය අල්ලාගෙන" දරෙක් බියජනක හඬින් තම සගයාට කියයි.

"මෙහෙම ගියොත් නම් හණමිටියෝ ළඟදීම අපිව ඉවර කරයි"

"ඔව්, මට අපේ අවසානේ දරාගන්න පුළුවන්. ඒත් උන් අපේ ධර්මයත් වනසාවී."

"මහා පුස්තක තියෙන මහා දේවාලේ පුළුස්සා දාවී"

"සිරිමතාණනේ !!!"

"උන් කොහොමද මේක කළේ. අපි ද උන්ද වැඩියෙන් ඉන්නේ. අපේ උත්තම ධර්මධාරින් තමයි වැඩියෙන් ඉන්නේ කියලා පූජකතුමා කිව්වේ. තව ගංවතුරු පහකින් දිනන්නයි සැලසුම තිබ්බේ"

"එව්වා එහෙම වෙන්නේ නැහැනේ. නැතිනම් අපි මේ යුද්දේ කී පාරක් දිනලද? මං ගංවතුරු විස්සකට වඩා මේ හටනේ" දරෙක් තම තට්ට හිස අතගායි.

"කට කට, උඹ ව මරා දමයි ඇහුණොත්. අපායට යවල සාපෙන් පුළුස්සලා මරා දාවී"

සාපයට නිරාවරණය කිරීම මරණ දඬුවම දෙන ප්‍රධාන ක්‍රමයයි. සාපය ඇත්තේ අපායේය. භූගත ජීවිත ගෙවූ ඔවුන්ගේ අපාය ලෙස සැලකුයේ ඉහළින් ඇති ජනශුන්‍ය පොළොවේ මතුපිටයි. කලකට පෙර උන්ගේ පැරැන්නන් ජය කෙහෙළි නැංවුයේ ද ඒ මතුපිටමය. අද ඒ මතුපිට යොදා ගන්නේ මරණයට කැපවූවන් දම්වැල් මඟින් අගාධ කටින් ඉහළට යවා සාපයට නිරාවරණය කරවීමටයි. දෙදිනක් හෝ තෙදිනක් එසේ තැබූ පසු පණපිටින් ඉන්නා එකෙකු මෙතෙක් හමු වී නැත. සාපය එතරම්ම දරුණුය.

අතීත කතාව පැහැදිලි නැත. එහෙත් සෑම ආගමකම එන අතීත කතාව අඩු වැඩියෙන් ආසන්නව සමානය. මතුපිට තිබ්බේ පාරාදීසයයි. එහි හුන් පැරැන්නෝ දේවාශිර්වාදය ද, මැජික් ශක්තියද ලබා ගත්හ. මහා විස්කම් කළහ. එහෙත් එක යක්ෂයාගේ මොහොතක ඒ සියල්ල සුන්නද්දුලි විය. දෙවියන්ට මිනිසා එරෙහි විය. යක්ෂයා තනා දුන් මෙවලම් මිනිසා විසින් පුපුරවා හරින ලදී. පැරැන්නන්ගේ සටහන් අනුව හැම තැනම ගිනි බෝල පිපිරුනි. ඒවා හතු හැඩයට පුපුරා හසුවන සියලු දේ දවාලීය. යළිත් මතුපිට සරන්නට නොහැකි සේ සාපය අහස පුරා විසිරවීය. සාපයට නිරාවරණය වූ කල පිළිස්සුම් හා ඉදිමුම් මඟින් මිය යාම අනිවාර්යයි. දරෙක් රපී ඇතුළු සියලු දෙනා පැවතෙන්නේ එදා ඒ පිපුරුමෙන් බේරෙන්නට ගැඹුරු පතලකට පැන්න කීප දෙනෙකුගෙනි.

"උඹයි මමයිනේ කතා කළේ. මට උඹ විශ්වාසයි" දරෙක් රහසින් කියයි.

"දරෙක්, උඹ මට ආගම් බෙදුණු කතාව කියා දෙනවා කිව්වා නේද?"

"උඹ දන්නවනේ ආගම හැදුණු හැටි "

අද ආගම් ගණනකට බෙදුණු මේ භූගත ජනපදයේ සියලු ආගම් පැවතෙන්නේ දිව්‍යමය පැස නමින් අද පූජාවට ලක්වන ගමන් මල්ලකිනි. පිපුරුම හමුවේ පණ බේරාගෙන පතලට පැන්න එකෙකු සතුව තිබු ඒ මල්ල එහි වූ පොත් කීපයක් සමඟ මුල්ලකට විසිකොට තිබුණි.

මුල් භූගත ජනාවාසවල ආගමට හෝ පොත පතට වෙලාවක් නොවීය. මීයෙක් සර්පයෙක් පණුවෙක් වැනි දඩයමකින් වේල සරි කරගන්ට හා නව දෝනා හා කුටීර තනා ජනාවාස නිමවන්නට මුළු කාලයම කැප වුණි. එහෙත් පරම්පරා කීපයකින් නැවත කෘෂිකර්මාන්තය දියුණු විය. මතුපිටට නොයා හතු වර්ග, ශාඛ මුල් හා අල ආදිය වවන ක්‍රම දියුණු විය. මුල්ලට විසිකළ පොත් මල්ල කෙනෙකුට හමුවන්නේ එවිටයි. අකර්මන්‍යව ගිය අකුරු ශාස්ත්‍ර දියුණු කරගෙන කොටස් දිරාගිය ඒ පොත් කියවන්න පටන් ගත් "දේව පණිවුඩකාරයෝ" එහි අරුත් තම නැණ පමණින් වටහාගෙන ආගම් නිර්මාණය කළහ.

" ආගම හැදුණු හැටි දන්නවා, මං අහන්නේ බෙදුණු හැටි" රපී කියයි.

"මුල කාලේ ආගම් කියලා දෙසාබාලා තියෙන්නේ බොරු. හණමිටි ආගම් හැදුණේ එහෙම. උන්ගේ පොත් ඔක්කොම බොරු කියලයි සිරිමතාණන් ගේ මහා පුස්තකේ කියලා තියෙන්නේ. උන්නාන්සේ ඒ කාලේ උගන්නපු ඔක්කොම බොරු කියලා ඔප්පු කළ මිනිහෙක්. උන්නාන්සේගේ සිරි උඩු රැවුල රැස් විහිදුවනවා. උන්වහන්සේ ගේ බුද්ධිය කොපමණ ද කිව්වොත් කෙස් ගස් පවා හරි කෙලින් හිටවීලා තියෙන්නේ"

"හරි බං මම උන් වහන්සේගේ සිරිමත් පින්තුරේ දැකලා තියෙනවා. මහා පුස්තකේ පසු පිටේ තියෙන්නේ"

"පස්සේ කාලේ තමා උත්තම ධර්මධාරින් උන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නේ. එක වටහා ගන්න අමාරුයි"

'ඉතින් ඇයි හණමිටියෝ සිරිමතාණන් එක්ක වෛර?"

"උන් කියන්නේ යක්ෂයා මුදා හැරියේ සිරිමතාණන් කියලා "

"අනේ සිරිමතාණන් එහෙම කරයිද?"

'නැහැ උන් වැරදියි. සිරිමතාණන් කිව්වේ යක්ෂයා එන්නේ මේ දේ කළොත් එහෙම කරන්න එපා කියලා "

ඒ කතාබහ නතර කරවමින් දරෙක් හා රපී කිසිසේත් ම නොසිතු මේ මොහොතේ ඔවුන් නොදැනම සතුරා විසින් වටකර තිබුණි. ප්‍රහාරය එල්ල වන විට පලායාමට තිබ්බේ එකම අතකි. ඒ අගාධයෙන් මතුපිටටයි. පසුපස එළවා එන හී තල මධ්‍යයේ දරෙක් හා රපී වළෙහි බඳ දිගේ ඉහළට නැග ගත්හ. නැවත හැරී එන්න දරන හැම උත්සාහයක්ම කෙළවර වන්නේ හී වරුසාවකිනි. පහළ හා ඉහළ මරු අතරින් ඉහළ මරු තෝරා ගන්නට දරෙක් හා රපී තීරණය කළහ.

අහස වසාගත් අඳුරු දූලි වලා මධ්‍යයේ වුවද මතුපිට ආලෝකය භූගත ජීවින් බිය ගන්වන්නට සමත් විය. වලාකුළු සාපයේ නවාතැන්පොළ ලෙස දරෙක් හා රපී අසා තිබුණි. ඒ වලාකුළුවලින් එන සාපයේ රැස් තමන්ගේ සිරුරුවලට කිඳා බැස ස්ථිරව එහෙත් සෙමෙන් තමන් මරු කරා ගෙන යන බව ඔවුහු දැන හුන්හ.

තැන තැන දිරාපත්ව ගිය ඉපැ‍රැණි ශිෂ්ටාචාරයක නටබුන් මත්තේ අධික විකිරණශීලීභාවය නිසා ජාන විකෘතියට ලක් වූ අරුම පුදුම ශාඛ වැවී ගොසිනි. ඒවා අතර එසේ ම විකෘතියට ලක් වූ මෙතෙක් ඇස නොගැටුණු ලොකු කුඩා සත් වග ආගාධයෙන් එළියට පැමිණි අමුතු ජීවින් දෙස බලා සිටියහ. තවමත් ජීවය ස්ථාවර නොවූ මේ මතුපිට ජීවිතය යනු මරණයේ කෙටි විරාමයක් පමණි.

දෑස් ගිනිකන වැටෙන එළියෙන් මිදෙන්නට දෝ දරෙක් හෙවණක නතර විය. හිස තුළින් එන අසාමාන්‍ය එහෙත් දැරිය නොහෙන වේදනාව මරණයේ පෙර කැඳවීමක් බව ඔහුට සිහි විය.

"මම නාකියා, රපී උඹ කොල්ලෙක්. මට උඹ ගැන දුකයි" දරෙක් මිමිණුවේය.

"කමක් නැහැ දරෙක්, මේ යුද්දෙන් මළ පළමු දෙන්නා අපි නෙවි"

"රපී මේ අහපන්. තව සැහෙන වෙලාවකට ආපහු යන්න ලැබෙන්නේ නැහැ. අරුන් පතල් කටේ රැකගෙන ඇති. ඉතින් දැන් අපි මැරිලා ඉවරයි උඹට තේරෙනවද?"

"ඔව්"

"හැබැයි මරණය එනකම් අපිට තව තරමක් වෙලාවක් තියෙනවා"

"ඉතින්"

"අපි කවුරුත් නොකරපු වැඩක් කරමු"

"ඒ කිව්වේ?"

"අපි අරුන්ගේ මර්මස්ථානෙකට කඩා පනිමු"

"දරෙක් උඹට පිස්සුද? ආපහු දෝනාවට යන්න උන් අපිට ඉඩ දෙන්නේ නැහැ"

"ඇයි දෝනාවට යන්නේ? දෝනා දිගේ ගමන හෙමින්. අනික අපිට දැන් සාපය වැදිලා ඉවරයි"

"හ්ම්ම්ම්ම්"

"අපි ගොඩබිම දිගේ යමු. උන්ගේ මර්මස්ථානයක් ළඟට ගිහින් ඇතුළට පනිමු. එහෙම එකක් කවදාවත් වෙලා නැති නිසා උන් ආරක්ෂාව යොදලත් නැතුව ඇති"

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න දරෙක් උඹ අපේ සේනාධිනායකනම් අපි මේක දිනලා යකෝ"

මරණයට කැප වූ මිනිසුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිනාසුණහ. ඉන්පසු තරමක් බැරෑරුම් ලෙස කල්පනා කළහ. දරෙක් තම ඇඳුමෙහි රදවා තිබු සිතියමක් ගෙන යන දිශාවන් තීන්දු කළේ ඉවෙන් මෙනි. ඉන්පසු ඔවුහු ගමන් ඇරඹුහ. අඳුරු වලාව පිටිපස්සේ ඉර බැස ගියේය, සඳ නැග යළි බැස ගියේය. නැවත ඉර උදා වන විට වේදනාභරිත වෙහෙසකර ගොඩබිම් ගමනකින් පසු සෙබළු දෙදෙනා සතුරු දෝනාවක බඩ ගාමින් හුන්හ.

"මේ හටන මෙහෙම කෙළවර වෙයි කියලා කවුද හිතුවේ" ප්‍රධාන පූජකයා ප්‍රීතියෙනි.

"මගේ ශූර බුද්ධිය" සේනාධිනායක වහසි බස් දොඩවයි.

"දරෙක් හා රපී අරුන්ගේ මර්මස්ථානෙට පැන්නේ සැලසුමකින් නෙවෙයි නේද?"

"ඒ වුණාට උන් දෙන්න පුහුණු කළේ මමනේ"

"ඒක ඉතින් මොකද්ද?"

"අනික දැන් ඔය පහරදීම වුණා කියලා සතුරු ඔත්තුවලින් හොයාගෙන මරාගෙන මැරෙන දරෙක් රපී බලකාය හැදුවේ මම. අපේ නිර්භීත කොල්ලෝ කෙල්ලෝ කීයක් දරෙක් හා රපී ගියමග යන්න සාපයට නොබියව මුහුණ දෙමින් ගොඩබිමින් ගිහින් පහර දුන්නද? අද අපි මුන් කුදලාගෙන ආවේ ඒ ජීවිත පරිත්‍යාගය නිසා"

සේනාධිනායකයා අත දිගහැර පෙන්නු දිසාවේ දම්වැලින් බැඳ දමාහුන් විරුද්ධාගමික මිනිසුන් කෙළවර නොපෙනෙන තරම් පේලියට තබා තිබුණි.

"ඔක්කොම ඇල්ලුවද?"

"ඔව් වෙන යන්න දෝනා නැහැ. ඔක්කොම මෙතන."

සුළු වෙලාවකින් ඒ සියලු දෙන මහා දේවාලය අසලට ගෙනඑනු ලැබීය. පූජකයා මිථ්‍යා දෘෂ්ඨිධාරි ඒ මිනිසුන් සහ ගැහැනුන් මරණයට කැප කළේය. ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් සිරිමතාණන්ගෙන් සමාව ඉල්ලීය. ඈත අහසට ඇරුණු කටකින් ඉහළට නොපෙනී යන දම්වැල්වල ඒ මිනිසුන් එල්ලා දමන ලදී. ශුද්ධ වූ යුද්ධයේ අග්‍රපලය ලෙස ප්‍රතිවාදියා සමූල ඝාතනය කෙරෙන සංඥාව ලැබුණි. දම්වැල් ලූ මිනිසුන් අගාධයේ විවරය දෙසට එසවෙන්නට පටන් ගැනුණි.

දැවමුවා ප්‍රතිමාවක හැඩයෙන් සිරිමතාණෝ නිසොල්මන්ව මේ දෙස බලා හුන්නේය. දළ උඩු රැවුල අනගි ලී කැටයමකි. කෙළින් වූ හිසකේ ලෝහයෙන් කර තිබුණි. කලෙකට පෙර ඇල්බට් අයින්ස්ටයින් ලෙස හැඳින් වූ මේ සිරිමතාණන්ගේ මහා පුස්තකයේ ඉදිරි පිටේ ලියා ඇති, උත්තම ධර්මධාරි ජනයාගේ සිත්හි භක්තිය උපදවනමුත් බුද්ධියට ගෝචර නොවන මහා යාතිකාවෙන් කුටීරය පිරී ගියේය.

ÒE = mc2Ó

ÒE = mc2Ó

ÒE = mc2Ó

සුජීව කොකාවල 

 

නව අදහස දක්වන්න