තනිකඩ ජීවිතයට හේතුව දිල්හානි මට අහිමිවීමයි - රන්ජන් රාමනායක | දිනමිණ

තනිකඩ ජීවිතයට හේතුව දිල්හානි මට අහිමිවීමයි - රන්ජන් රාමනායක

හිත ගිය තැන මාළිගාව යැයි සුප්‍රකට කියමනක් තිබේ. මෙය රන්ජන් රාමනායකටද ඉතාමත්ම සමීපව සසැදෙන්නේ යැයි මට සිතේ. අදටත් වඩා ඔහු නව යොවුන් වියේ දී මෙම ස්ථාවරයේ තදින්ම පිහිටා ජීවත් වූ බව එකල ද ඔහුව සමීපව ඇසුරු කළ මම දනිමි. ආදරය සම්බන්ධයෙන් පමණක් නොව ඔහුගේ ජීවිතයේ බොහෝ ක්‍රියාකාරකම්වලට එය බලපාන්නේය. රන්ජන් රාමනායක යනු මොන තරම් ගුණගරුක මෙන්ම මුල්ම බැඳීම අති ප්‍රබලව තම ජීවිතයටම බද්ධකර ගැනීමට පවා  පෙලඹෙන්නේදැයි ඔහු ‘රාමනායක’ බවට පත් වු සිද්ධියෙන් මනාව සනාථ වෙයි. රන්ජන් මුලින්ම සිනමාවට ‘ජය කොතැනද’ චිත්‍රපටයෙන් හඳුන්වාදෙන ලද්දේ අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක විසිනි. තමා සිනමාවට හඳුන්වාදුන් සෝමරත්න රාමනායක ගේ නමේ ‘රාමනායක’ වාසගම පවා තම නමට බද්ධ කර ගැනීමට රන්ජන් පෙළඹුණේය. රාමනායක නමින් වාසගමක් නොතිබූ ඔහු රන්ජන් රාමනායක බවට පත් වුයේ එලෙසය.
 
ආදරය සම්බන්ධයෙන් ද රන්ජන් එසේමය. මීගමුවේ කොච්චිකඩේ ඔහු සමඟ එකල සුළු වශයෙන් පෙම් කළ දෙතුන් දෙනා ගැන වුවද අදත් ඔහු ගමේ ගිය විට දුක සැප විමසා බලන්නේය. එමෙන්ම කලා ලොවේ රන්ජන්ගේ මුල්ම සමීප හිතවතිය වු රමණී බර්තොලමියුස්ව ඔහු අදත් සිහිපත් කරන්නේ ය.
 
දේවස්ථානයකට පවා ගිය විට රමණී සිහිපත් කොට යාච්ඥා කරන්නේය. මා දන්නා තරමින් රන්ජන්ගේ යොවුන් දිවියේ ඉඳි වූ අති සුන්දර ප්‍රබලතම රත්තරන් ප්‍රේම මාලිගාවේ රන් කුමරිය වුයේ දිල්හානි අශෝකමාලාය. එය හුදු දෙහදකට පමණක් සීමා වූ අති සංවේදී ඉතාම සංවරශීලී ළයාන්විත බැඳීමක් පමණක් විය. දිල්හානි පාසල් සමයෙන් පසු අති දක්ෂ නර්තන ආචාර්යවරයකු වූ චන්න විජේවර්ධන යටතේ කෙටිකලක් නර්තනය හැදෑරුවාය. එකල ඇය සැබැවින්ම පුංචි රෝස මලක් මෙන් අති පියකරු වූ යුවතියකි. එකල ඇය පදිංචිව සිටියේ නාරාහේන්පිට තල කොටුව වත්තේය. ඒ අවට කලා ශිල්පී ශිල්පිනියෝ කීප දෙනෙක්ම පදිංචිව සිටියහ. නදීකා ගුණසේකර, කේ.ඩී.කේ ධර්මවර්ධන,ප්‍රවීණ මාධ්‍යවේදී පී.බී. ඉලංගසිංහ,පියසේන අහංගම, යසපාලිත නානායක්කාර මෙන්ම අපේ අසහාය නළු විජය කුමාරතුංග ද දිල්හානිගේ අසල්වැසියෙක් වීම විශේෂත්වයකි. විජය රන්ජන්ගේ සමීප ඥාතිවරයෙකි. මුල් යුගයේ එතරම් අතේ මිටේ සල්ලි නොතිබූ මීගමුවේ රන්ජන් නවාතැන්ගෙන සිටියේ නාරාහේන්පිට තලකොටුවේ පිහිටි විජය මාමාගේ නිවෙසෙහිය. එය රන්ජන්ගේත් දිල්හානිගේත් සිනමාවේ මුල්ම අවධිය විය. එමෙන්ම ඒ වන විට යාන්තමට ඔවුන් දෙදෙනා අතර ආදර සබැඳියාවක් ලියලා වැඩෙමින් පැවැතියේය. මෙහි දී එක්තරා අන්දමකට දිල්හානි රන්ජන් ප්‍රේම සම්බන්ධයේ අනියම් කපු මහතා වූයේ විජය කුමාරතුංගය. ඒ විජය කෙළින්ම දැනගෙන නොවූවද එම කපුකම ඔවුන්ට මහඟු පිටිවහලක් වූයේය.
 
එකල ජංගම දුරකතන පැවැති යුගයක් නොවීය. අද මෙන් එස්.එම්.එස් ප්‍රේම පණිවිඩ සේවාවක් තිබුණේද නැත.‍ පෙම්පත් හුවමාරුව ඉතා ජනප්‍රියව පැවැතියේය. දිල්හානි ඉතාමත්ම තද කාව්‍ය රසිකාවියකි. එමෙන්ම තරමක කවි පබැඳීමේ හැකියාවක් ද ඇයට ඇත. විජය කුමාරතුංග නිතරම වාගේ දිල්හානිගේ නිවෙස අභියස පාරෙන් එහා මෙහා ගියේය. එසේ යද්දී ඉතා හුරුබුහුටි ලස්සන දිල්හානිව දැක ඔහු ඇයට විහිළු තහළු කිරීමටද පුරුදුව සිටියේය.
 
‘සුදු බට්ටියෝ’ කියා ඔහු ඇයව ඇමැතුවේය.
 
‘අනේ අංකල්, මේ නවකතා පොතක් තියෙනවා. තරහ නැතිව රන්ජන් අයියට ගිහින් දෙනවද?’
 
දිනක් දිල්හානි විජයගෙන් ඉල්ලීමක් කළාය.
 
‘රන්ජා! නවකතා කියවනවද?’
 
‘මං නං දැකලා නැහැ.’
 
‘අම්මෝ මාර ආසයි! ගොළු හදවත එහෙම කටපාඩම් රන්ජන් අයියට.’
 
විජය උපහාසාත්මක සිනහවක් පෑවේය. දිල්හානි නව කතා පොත ඇතුළේ රන්ජන්ට පුංචි පෙම්පතක් යවන්නේය. ඒ බොහෝ විට ගීත කාණ්ඩද ඇතුළත්වය.
 
සිහින දෙව්දුවේ ...
ඔබය තුන් ලොවේ...
එකම නමයි මා දන්නේ...
ඒ නම ආදරේ...
 
රන්ජන් ද ආපසු විජය මාමා අතේම එසේ ලියූ පෙම්පතක් පොතක ලා දිල්හානිට යවන්නේය.
 
දවසක් විජය මාමා පිටත් වීමට කඩිමුඩියේ සැරැසෙද්දී රන්ජන් කලබලයට පත් වී මෙවන් ගී ඛණ්ඩයක් හනිකට ලිව්වේය.
 
දිල්හානී දියණී...
නාඩා නිදියන්නී....
 
දිල්හානි යන නම තිබූ නිසා එසේ ලියූවද ඒ දරු නැළවිලි ගීතයක් බව ඔහුට වැටහුණේ පසුවය. දිල්හානි ඔහුට කලක් යන තුරු එය පවසමින් උපහාසයට ලක් කළේය. දිල්හානි නිතර එකල අප නිවෙසට යන එන බැවින් අප බලන්නට එන විලසට රන්ජන් දිල්හානිව දැකීමට එන්නේය. දිල්හානිට පොඩ්ඩ ඇත්නම් එකල කේන්ති එයි. රන්ජන් සමඟ දින ගණන් කතා නොකර සිටියි. එවන් විටද කෙසේ හෝ ගීත ඛණ්ඩයක් ලියා රන්ජන් දිල්හානිට කොළ කෑලි ඇගේ මිතුරියක අතේ යැවීමට පෙලැඹෙන්නේය.
 
‘මා ලැබු ජීවිතයේ ...‍
සැනසුම ඔබ සතුවේ..සුදු ඔබ මොනව කළත්...
අහිතක් නෑ සිතුවේ...
 
එකල පෙම්වත්තු තම හද බැඳි ප්‍රේමය පෙම්වතාට හෝ පෙම්වතියට දැනෙන්න හැඟෙන්න සැලැස්වීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදති. කාලිදාස මෙන් මහා මේඝයක් කිරිමට නොහැකි වුවද කලාකරුවකු වන රන්ජන් තම ආදරණිය දිල්හානි වෙනුවෙන්ම ගීතයක් නිරිමාණය කරවා රට පුරාම ගීත ප්‍රසංගවල ගායනා කළේය. එම ගීතය රචනා කළේ දක්ෂ ගීත රචකයකු වන ආනන්ද පද්මසිරිය.
 
‘ආනන්ද කොහොම හරි දිල්හානි කියන නම ඔය සින්දුවට ඇතුළත් කරන්න. අනේ ප්ලීස්!.’
 
රන්ජන් ආනන්දට ඇවිටිලි කළේය. ‘කොහොමද මේ තනුව අනුව දිල්හානි කියල යොදන්න තැනක් ඇත්තෙම නැහැ.’
 
‘එහෙම කියල බැහැ. ඔය සින්දුව මම කියන්නේ දිල්ට.’
 
‘හරි එහෙනම්, ‘දිල් අප්නා ඕ ප්‍රීත් පරාහේ’ කියල දාන්නද?’ ආනන්ද සිනා සෙමින් ඇසීය. ‘විහිළු නෙමේ බන් උඹ දක්ෂයෙක් නෙ. කොහොම හරි දිල්හානි නම යොදන්න. ඔයා සංජීවනී නම දාලා ගීතයකුත් හැදුවේ.’
 
‘ඇයි අශෝකමාලා ඔය වාගෙ කෝපවීලා...
 
‘රන් සමනල ජෝඩුව වාගෙයි’ ගීතයට ආනන්ද පද්මසිරි පසුව එසේ පදයක් යෙදුවේය. ඒ වන විට දෙන්නා අමනාපව සිටි බැවින් එය වඩාත් ගැළපුණි.
 
එකල අපි එක්තරා ගැන්සියක් මෙන් එකමුතුව සිටියෙමු. නත්තල් දින පුරාම කමින් බොමින් නටමින් විනෝද වනුයේ කොච්චිකඩේ රන්ජන්ගේ නිවෙසේය. ඒ අතර සීදූවේ ජීවන්ගේ නිවෙසටද කෑමකට යන්නෙමු. ජීවන්ගේ මවට මෙන්ම රන්ජන්ගේ මවට ද රසට උයන්න පිහන්න හැකිය. මෙම විනෝද ගමන්වලින් වඩාත් රසවත් සතුටක් ලබනුයේ රන්ජන් දිල්හානි පෙම් යුවළය. අති සංවේදී සංවරශීලී අහිංසක ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය ගැන තවද අප්‍රමාණ රස තොරතුරු පැවැසිය හැකිය.
 
ඒ හැම මම මේ දිනවල ලියමින් පවතින රන්ජන් රාමනායකගේ සත්‍ය ජීවිත කතාව අන්තර්ගත වන ‘ජනරන්ජන රන්ජන්’ කෘතියට ඇතුළත් කරන්නෙමි. එහෙත් මෙහිදී රන්ජන් දිල්හානි අහිංසක පෙම්කතාව ශෝකාන්තයක් ලෙස නිමාවට පත් වූයේ කෙසේද කියා යමෙකු තුළ දැඩි කුකුසක් ඇතිවිය හැක. මේ නොබොදා මා ඒ ගැන දිල්හානිගෙන් විමසූ විට ඇය අව්‍යාජ පිළිතුරක් දුන්නාය. ‘රන්ජන් ආශ්‍රය කිරීමේ දී මට දැනුණු දෙයක් තමයි එයා තුළ තම පෞද්ගලික ජීවිතය අභිබවා යන පුළුල් සමාජ ජීවිතයක අවශ්‍යතාව එදා සිටම ගොඩනැගෙමින් තිබුණා කියන දෙය. රන්ජන්ගේ ලොකු දැක්මක් තියෙනවා.
 
ලොකු අරමුණක් තියෙනවා.හුදෙක් පෙම්වතියකට, බිරිඳකට කැපැවුණු සීමිත ජීවිතයක් නෙවී රන්ජන් අපේක්ෂා කරන්නේ. ඒක සමාජීය දේශපාලනික දැවැන්ත පුළුල් පරාසයකින් යුතු අරමුණු ඉලක්ක කන්දරාවක්'. දිල්හානි එසේ පැවැසුවාය. ආදරය යනු එයයි. තම මිතුරු රන්ජන්ගේ එම අනාගත අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ඔහුට ආශිර්වාද කොට සෙත් පතා ඇය ඔහුගෙන් සමුගත්තාය. අදත් ඔවුන් සුහද මිතුරන් දෙපළකි. අදත් ඔවුහු එකට රඟපාති. දුක සැප පිළිබඳ විමසිලිමත් වෙති. රන්ජන් රාමනායක කිසිදා ප්‍රසිද්ධියේ නොකළ ප්‍රකාශයක් මා සමඟ ප්‍රකාශ කළේය.
 
‘මං සඳහටම අවිවාහකව තනිකඩව ජීවත්වීමට ස්ථීර වශයෙන් තීරණය කළේ දිල් සමඟ පැවැති ඇසුර බිඳ වැටී ගියාට පසුවයි.’ ඔහු දැඩි හැඟීම්බරව පැවැසුවේය. දිල් යනු හින්දියෙන් හදවතයි. හදවතක උපන් සෙනෙහසක් මෙතරම් ප්‍රබලව සැබැවින්ම ජීවිත කාලය පුරාම පැවැතිය හැකිද?
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දී අර්නස්ට් වඩුගේ හෙළිදරව් කරන තනි යහනේ දිවිගෙවනා අපේ කලාකරුවන්ගේ රස රහස්

අදහස් 2ක් ඇත

Great

dilhani akka saba adaraya ath vidapu pemwatiyak ranjan ayya saba adaraya tamath ath vidina sabama pemwatek (saba pemwatun ek nowei ek u wo pemwatun nowei.)

පිටු

නව අදහස දක්වන්න

Or log in with...