ෆැන්ටසියක අරුමැසි බව | දිනමිණ

ෆැන්ටසියක අරුමැසි බව

 අසා දැනගෙන ඇති අතීත කතා අතරේ පත්තිනි කතා පුවතේ සංසිද්ධීන් ප්‍රස්තුත කරගත් කතා සමුදායක එක් පැතිකඩක් “පත්තිනි” සිනමා කෘතිය අපට කියා දෙයි. ඓතිහාසික යැයි කිව හැකි ඉතිහාසගත පුවතක් ජනප්‍රවාදය හා බැඳුණු වෙනස්කම් තුළින් මතුවන “පත්තිනි” සිනමා කෘතිය සැබැවින්ම ෆැන්ටසියකි. සාරය විචිත්‍රය. ඇතුළත, පිටත දර්ශන හා බැඳුණු දෘශ්‍ය පසුබිම විචිත්‍රය. කතාබහ තුළින් මතුවන සංවාද විචිත්‍රය. නා නා ප්‍රකාර වූ යුග යුග හා බැඳි ඉස්මතු වන වස්ත්‍රාභරණ ද විචිත්‍රය.

මනසට තෘෂ්ටියක් අවැසිද පත්තිනි සිනමා කෘතිය තුළ එය ඇත. කල්පිතය අවැසි ද එය ද එහි නැත. එසේම ඊට බද්ධ වූ අද්භූතය, පරිකල්පනය වී ඇත.

පසුබිම් පරිසරයේ ඇතුළත පිටත, මනරම්ය. පත්තිනි සිනමා කෘතියේ ඇතුළත පසුබිම නීල වර්ණ පසුතල මත දිග හැරේ. එහි ආරෝපිත වර්ණ නෙතට වින්දනයකි. එම වින්දනය රූප භාෂාවෙන් මනරම් කරවයි. රැඟුම් හසුරු කුසලතා ඒ මත දිස්වීමෙන් මනස්කාන්ත ෆැන්ටසියක් පත්තිනි සිනමා කෘතිය මත පතිත වෙයි.

පිටත සංගෘහිත ස්වභාවික දසුන් ආභාෂය දෙනෙත් අංජලීකරණය කරවයි. සංතෘෂ්ටියට පත් කරවයි. කසාවතින් සැරසී පඬු පැහැ කුඩයක් රැගෙන මනිමේඛලාවෝ දිය පහරක් ඔස්සේ තැනිතලාවක සක්මන් කරන අතිශය කෙටි රූප රාමු සමුච්චය සිත සැනසෙන පහන් සිතිවිලි චිත්‍රණය වන අපූරු පෙළකි.

වසරක් පුරා ගත කළ කණ්ණගී ගේ හා ‍කෝවලන්ගේ ප්‍රේමාන්විත රංගන ලීලාවේ භාවමය දසුන් අප දෙනෙත් හමුවේ මවන්නේ ශෘංගාරයකි. එහි අන්තර්ගත සියුම් භාවමය ස්පර්ශ අවස්ථාවන් ප්‍රයෝගජනක ලෙස අප සිත් ග්‍රහණය කරවයි.

එසේම එහි ඇති සියුම් ශෘංගාර රසය සත්තකින්ම ම‍නමෝහනීය ෆැන්ටසියකි. ආල කතා විදග්ධය. එක් දිනකින් සියල්ල කණපිට හැරවෙන්නේ ප්‍රේමයේ වියෝව කණ්ණගීටත් ප්‍රේමයේ රසභාව මාධවීටත් හිමි වීමෙනි. දෙවියන් ඉදිරියේ පඬුරු පුදා කණ්ණගී ‍කෝවිල තුළ හුදෙකලාවම රැය පහන් කරද් දී කෝවලන් මාධවීගේ ප්‍රේම සයනයේ ශෘංගාරයෙන් මන්මත්ව රසපහස විඳගන්නේ ප්‍රේක්ෂක දෑස් කෙවෙනි චලනය කර ගන්නටවත් නොදෙමිනි.

මෙහි ඇති සියුම් භාව සංයමය තුළ ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ හසළ දැනුමැති සූර සිනමා අධ්‍යක්ෂකවරයාගේ මනා වූ ශික්ෂණයේ අග්‍ර ඵලයයි.

අනතුරුව කෝවලන් ‍සමඟ ගෙවී ගිය තුන්සිය හැටපස් දවසක ප්‍රේම ප්‍රාර්ථනා මතින් කණ්ණගී ප්‍රාර්ථනා කළ දරුවකු පිළිබඳ වූ දාරක අපේක්ෂාව, භංගත්වයට පත්වෙයි. සිටු සම්බෝග සියලු වස්තු කෝවලන්, මාධවීගේ දෙපා අභියස මාධවී සතු කරවන්නේ කම් සැපයෙහි නොනිමි සන්තුෂ්ටිය ඒ යැයි පවසමිනි.

කණ්ණගී - කෝවලන් රසාලිප්ත ප්‍රේම පුරාණය දෙදරා යන්නේ මාධවීගෙන් එක් රැයක දී ලැබෙන සන්තුෂ්ටියේ භාව ලීලාව හේතුවෙනි. එය විස්මිත ශෘංගාර‍යකි. භාවමය රාග සංසිඳුවීමකි. අතුරු ඵලය මාධවී කෝවලන් නිසා ගැබ් ගැනීමෙන් සමාප්ත වේ.

යළි කණ්ණගී හා කෝවලන් ප්‍රේමය දලුලා ගිලිහුණු සැප සම්පතින් යුතුව දුෂ්කර ජීවිතයක් ගත කරති. මාධවී දියණියක ලබයි. මණිමේඛලා නම් වූ ඇය බුදු දහමින් ජීවිතය පෝෂණය කර ගනියි.

කණ්ණගී චරිතයට පණ පොවන පූජා උමාශංකර් ගේ රූපමය භාවිතය නෙතට අංජනයකි. සිය රංගන කාර්යයේ දී ප්‍රේමාන්විත රංගනය මෙන්ම උද්වේගකර තීන්දු තීරණ ගන්නා අවස්ථාවන්හි දී හිතේ සිතුවිලි කතා කරන තරමටම ප්‍රශස්ත ෆැන්ටසියකි. ඊට ඌණ පුරාණ සපයන්නි මාධවී (අරුණි රාජපක්ෂ) නෘත්‍යාංගනාවය. එම අපූරු රංගන කාර්යයේ උච්චතම අවස්ථා භාවිතය ලෙස මාධවීගේ හා කෝවලන්ගේ පළමු සම්බෝග අවස්ථාවේ සයනය මත මුහුවන දෙදෙනාගේ රූප සංකලනය, වර්ණතා පසුතලය ගෙන හැර දැක්විය හැකිය.

ඇතිවීම, නැතිවීම, ලැබීම, නොලැබීම පොදු දහමක්ය නමැති සිතුවිල්ල මෙහි හරයයි.

කෝවලන්ගේ (උද්දික ප්‍රේමරත්න) භාවමය සියලු රංගන භාවිතාවන් මාධවීගේ නික්මයාමත් සමඟ සැඟවී යාම සංවේගප්‍රාප්ත කාරණාවකි. එහෙත් කණ්ණගී සහ මාධවී සිය චරිත ප්‍රතිභාව රංගනයේ අවසන් ඇසිල්ල දක්වාම ඉදිරියට ගෙන යාමට සමත්ව තිබීම පැසසුම් කටයුතුය.

ඒ අතරේ මනරම් අතුරු චරිත කිහිපයකි. මණිමේඛලා සහ මාධවීගේ සේවිකාව “පත්තිනි” සිනමා කෘතිය තුළ ඉස්මතු වන චරිත යුගලයකි. එහි ප්‍රණාම අධ්‍යක්ෂවරයා හරහා විනූ සිරිවර්ධනට, අමා විජේසේකරට හිමිවේ. එසේම අතීත ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවන් මවන රජ චරිත “පත්තිනි” සිනමා කෘතියට එක් කරන්නේ ශුන්‍යත්වයටත් එහා ගිය ඍණ අගයකි.

පසුබිම් සංගීතය, කැමරා කෝණ භාවිතාව, ගවේෂණාත්මක කලා අධ්‍යක්ෂණය පිරිපුන්ය. අර්ථ පූර්ණ, භාවමය වචන කැටි වූ ගීත පසුබිම් වූ රූප භාවිතාවන් “පත්තිනි” සිනමා කෘතියට විදග්ධ රසයක් මෙන්ම අලංකාරයක් ද එක්කර තිබේ.

එතැන් හිඳ සංයමය ඉතිරි කළ අවසාන අද්භූතය අදටත් දේව රසයෙන් කුල්මත් වන බැවින් එහි ඇති භක්තිය අදටත් හෙටටත් නොනැසී පවතින බවට ඇති විශ්වාසය මෙහි නොබි‍ඳෙයි. නමුත් ආරම්භයේ දී කතාව කියන්නට ගත් පූර්විකා අවස්ථාව වෙනත් මඟකින් ඉදිරිපත් වූයේ නම් මනරම් යැයි සිතේ. එහෙත් දෙනෙත් පුරා ෆැන්ටසියක අරුමැසි “පත්තිනි” සතු වී තිබීම සතුටකි.

ශාන්ත කුමාර අපොන්සු

[email protected]


නව අදහස දක්වන්න

Or log in with...