අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම | දිනමිණ

අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම

 

පඩුවස්දෙව් රජුගේ රාජධානිය පඬුවස්නුවර නමින් හැඳින් වූ බව ජනතා විශ්වාසයයි. මෙය සනාථ කිරීමට චක්‍රාවාල කෝට්ටය, උන්මාද චිත්‍රාව සිරකර තිබූ එක්ටැම් ගෙය ලෙසද පඬුවස්නුවර ආසන්නයේ පිහිටි දොරබාව නැමැති ගම පණ්ඩුකාභය කුමරු සඟවාගෙන සිටි දොරමඬලාව ලෙසද ඔවුහු සාක්ෂි වශයෙන් ගෙන හැර දක්වති. එහෙත් පඬුවස්නුවර යන නමින් හඳුන්වා තිබෙන්නේ කුරුණෑගල රාජධානි සමය තරම් මෑත කාලයක සිටය යන්න උගතුන්ගේ මතයයි.

වනගතව පැවැති ප්‍රදේශය එළිපෙහෙළි කර අභිනව විහාරස්ථානය ඉදිකිරීමෙන් පසුව හෝ එයට ආසන්න කාලයක මෙම නම භාවිතයට එන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. පඬුවස්නුවර යන නාමය ඇති වීම පිළිබඳව ඉදිරිපත්ව ඇති එක් මතයක් වන්නේ පඩාවැවද එයට හේතු වූ බවය.

පඬුවස්නුවර ‍කැණීම් හේතුවෙන් මාලිගාව පඬුවස්දෙව් රජුගේ මාලිගාව යන ජනප්‍රවාදය යම් දුරකින් බිඳ වැටී තිබේ. පඬුවස්නුවර පාලනය කළේ පළමු වැනි පරාක්‍රමබාහු රජ බවට සාධක සහිතව සනාථ වේ. කැණීම්වලින් හමුවී ඇති ගඩොල් 12 වැනි සියවස දක්වා ඈත අතීතයට දිවයයි. එය පොළොන්නරු යුගයට අයත් බව පුරාවිද්‍යා කැණීම් මඟින් අනාවරණය වෙයි. පඬුවස්නුවර නමැති රජ මාලිගාව පරාක්‍රමබාහු රජු දක්ෂිණ දේශකයේ පාලකයා වශයෙන් සිටියදී භාවිතා කළ රජ මාලිගාව බවට නොයෙක් මූලාශ්‍ර මගින්ද තවදුරටත් සනාථ වේ.

නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය මෙය පරාක්‍රම රජුගේ මාලිගය බව සනාථ කරයි. පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ රජකම් කළේය. පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය හා නිශ්ශංකමල්ල රාජ්‍ය කාලය සැසඳූ විට ඇත්තේ වසරක පමණ වෙනසකි. (1186 – 1187) මේ නිසා නිශ්ශංකමල්ල රජු පැමිණෙන විට මෙම මාලිගාවේ යථා තත්ත්වයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකිය. එකී කරුණෙන්ද මෙම මාලිගය පළමුවන පරාක්‍රමබාහු රජුගේ දක්ෂිණ දේශයේ පාලන මධ්‍යස්ථානය ලෙසින් හඳුනාගත හැකිය.

පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු සිරිපා වැඳ පුදාගෙන ආපසු එන ගමනේදී මෙහි නැවතී සිට නාට්‍ය හා ක්‍රීඩා නැරඹූ බව පැවසේ. මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ මුළුතැන් ගෙවල් හා මැනවින් ජල ප්‍රවාහනය කළ වැසිකිළි නටඹුන් දක්නට ඇත. දිගින් අඩි 1056ක් හා පළලින් අඩි 900 ක්වූ කොටු පවුරකින් වටවූ චතුරස්‍රාකාර භූමිය තුළ රජමාලිගයේ නටඹුන් පිහිටා ඇත. මාලිගා සංකීර්ණයට ඇතුළුවන බිම්මාලයේ දෙපස ගඩොලින් කළ මුර කුටි දෙකකි. මෙම රජමාලිගයේ නටඹුන්වලට අනුව මෙහි සැලස්ම මහ පැරකුම්බාවන් විසින් පොළොන්නරුවේ ගොඩ නඟන ලද වෛජයන්ති ප්‍රාසාදයේ සැලැස්මට සමාන බව පැවැසේ. මෙම මාලිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආලින්ද පෙළ පිහිටියේ අනෙක් කොටසේය. රජ මාලිගයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසිය හැක්කේ ගඩොලින් කළ පියගැට පෙළකිනි. එම පියගැටපෙළ පාමුල සඳකඩ පහණකි. පියගැපෙළට වම්පසින් ගල් ආසනයක් තිබේ.

මෙම භූමියේ ඇති ශිලා ලිපිය දොළොස් වන සියවසේ රජ කළ නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196) පඬුවස්නුවර පැමිණි අවස්ථාවේදී ඉඳිකරන ලද්දක් බව සඳහන් වේ. ඔහු සිරිපාදයට යන අතරතුරදී පඬුවස්නුවරට පැමිණ ඇති බවද සිරිපාදයේ කොටා ඇති ලිපියකද සඳහන් වේ.

පඬුවස්නුවර ශිලා ලිපිය සොයාගනු ලැබුවේ පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් කරන ලද පුරාවිද්‍යා කැනීම්වලිනි.

රජ මාලිගාවට නුදුරින් ඇති දෙමළ සෙල්ලිපිය 12 වැනි සියවසට අයත් වූවකි. සෙල්ලිපිය පිහිටා ඇත්තේ දෙමළ අදිකාරි විසින් ගොඩනඟන ලද විහාරයට ඇතුළු වන වාහල්කඩ අබියසය. අඩි සතරක් පමණ උස අඩි දෙකක් පමණ පළල මෙම ගල් පුවරුවේ තිරස් අතට අඟල් දෙකෙන් දෙකට රූල් ගසා ලිපිය ලියා ඇත. මෙහි අක්ෂර මධ්‍ය කාලීන දෙමළ ග්‍රන්ථාක්ෂර ලෙස හඳුනාගෙන තිබේ.

ලිපිය පිහිටුවා තිබෙන විහාරය කවුරුන් විසින් ඉදි කරන ලද්දක්ද යන්න පෙන්වාදීම දෙමළ සෙල්ලිපිය ස්ථාපනය කිරීමේ අරමුණ වේ. ඒ අනුව එහි වන බෝධිය සංඝාවාසය, චෛත්‍යය, පිරිවෙන, දාන ශාලාව ඇතුළු ගොඩනැගිලි ඉදි කර තිබෙන්නේ මතිමාන පංජර හෝ කුලන්දෙයි නම් ලත් දෙමළ සෙනෙවියකු විසිනි. ඔහු තමා ගැන කරන විස්තරයේ තමා හමුදාවේ අණ දෙන්නා බවද තිරු හෙවත් ලක්ෂ්මියගේ භක්තිමතකු බවද පාණ්ඩපයන්නේ විනාශකයා බවද සඳහන් කරයි.

ඉන් අදහස් වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සම්බන්ධතා විශාල ලෙස වර්ධනය වී තිබූ බවයි. රාජ්‍ය පාලනයටද දෙමළ ජනයා සම්බන්ධ වී සිටි බව දක්නට ලැබේ. මෙම දෙමළ සෙල් ලිපිය විහාරාරාම සංකීර්ණයක පිහිටා තිබීම මගින් පැහැදිලි වනුයේ මෙම රාජධානියේ පාලනය සම්බන්ධව කටයුතු කළ දෙමළ ජනයාද බුදු දහම ඇඳහු බවයි.

මාලිගාව පසුකර අභිනව විහාර ස්ථානය දෙසට ගමන් කරන විට දකුණු පස උස් චතුරස්‍රාකාර වේදිකාවක් මත ඉදිකෙරුණු කුඩා දැගැබැකි. මෙය එකල සිටි අය වන්දනාමාන කළ පංචායතනයකට එය ද අයත්ය. දාගැබේ පේසා වළලු තැන මැනවින් කැපී පෙනෙන පරිදි මතු කර ඇත.

අභිනව විහාර අසල ස්ථූපයක් ඇතුළු ගොඩනැගිලි රාශියකි. පුරාවිදයා භූමියේ දකුණු සීමාවේ ඇති පංචායතනය සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ එකකි. චෛත්‍යය, ප්‍රතිචාඝරය බෝධිඝරය , සීමාමාලකය සංඝාවාසය ආදී සියල්ල මෙහි දක්නට ලැබේ.

අභිනව විහාර ස්ථානය පිටුපස පිහිටා තිබෙන චලයාකාර ආවාටය. එම ස්ථානයට එන සංචාරකයන්ගේ කුතුහලය දනවන්නකි. බොහෝ දෙනාගේ මතය වන්නේ උන්මාද චිත්‍රා කුමරිය සිර කර තැබු එක්ටැම් ගෙය මෙතන පිහිටා තිබෙන්නට ඇති බවය. ආවාටය මැද තිබෙන නටබුන්, එක්ටැම් ගෙයින් ශේෂව තිබෙන අත්තිවාරම ලෙස ප්‍රදේශවාසීහු සලකති.

උන්මාද චිත්‍ර කුමරිය සිර කොට තැබූ ස්ථානය ලෙස සැලකෙන මෙම ආවාටය පුරාවිද්‍යාඥයින් හඳුන්වා තිබෙන්නේ චක්‍රාවාල කෝට්ටය නමිනි. පරණ විතාන මහතා පෙන්වා දෙනනේ මෙය දක්ෂිණ දේශයේ පාලක පැරකුම් කුමරු විසින් කරවන ලද චක්‍රාවාල කෝටය බවය. මෙයට සම කළ හැකි වෙනත් නිර්මාණයක් ලංකාවේ කිසිදු පුරාවිදයා භූමියකින් හමුවී නැති බව කියනු ලැබේ.

ප්‍රජා භූමියේ දකුණු අන්තයේ පිහිටා ඇති විහාරය පඩුවස්නුවර රජමහා විහාරය නමින් හැඳින්වේ. එහි ඇති පැරණිතම ඉදි කිරීම වන්නේ මහනුවර යුගයට අයත් ප්‍රතිමා ගෘහයයි. ටැම්පිට විහාර ගණයට ඇති ගොඩනැගිල්ලේ ප්‍රතිමා සහ බිතුසිතුවම් ද මහනුවර කලා ශෛලියට අයත් වේ. බෝධින් වහන්සේ ද පෞරාණික එකක් බව පැහැදිලි වේ.

වර්තමාන විහාරය දෙසට යන විට ගල් කණු 16 කි. මෙයින් ඇතැම් ඒවායේ ශිලා ලේඛන ද සටහන්ව තිබේ. මේ හැම සෙල් කුලුනක්ම අනුරාධපුර අවධියේ ඒවා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. සෙල්ලිපි ලියන ලද ගල්කණු අත්තාණි කණු ලෙස හැඳින්වේ. ගල් කණු 22 ක් මත සෙල්මුවා පඩිපෙළ කයිදෝරු ආදියෙන් සමන්විතව දක්නට ඇති ගොඩනැගිල්ල දළදා මාලිගය ලෙස හඳුන්වයි.

දළදා මාලිගයක් ලෙස මෙය නිශ්චිත ඉදිරිපත් කළ නමුත් වංශකතාවල කියැවෙන පරිදි කුරුණෑගල, දඹදෙණිය කාලයේ භික්ෂූන්ට පැමිණි කරදර බාධක හේතුකොටගෙන දළදා වහන්සේ මෙහි වැඩම කරවා සුරක්ෂිතව තබා පුද පූජා කළ බවය.

පඬුවස්නුවර වෙනත් ස්ථානයක දළදා වහන්සේ තැබීමට තැනූ දළදා මාලිගාවක් හමුවී නොමැත. එම නිසාවෙන් එය නිශ්චිතවම තහවුරු කළ නොහැක. දිගින් අඩි 50 ක් ‍හා පළලින් අඩි 30 ක් වන ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුත් මෙම මන්දිරය අද විහාර භූමියේ ඇති අලංකාරම ගොඩනැගිල්ල වේ. බොරදමින් යුතු ගල් පුවරු අල්ලා සකස් කරන ලද අඩි 5 ක් පමණ උස වේදිකාවකින් හා එහි සිටවූ ගල් කණු 32 ක් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උළු සෙවිලි කළ වහලයකින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය වී තිබේ.

ගොඩනැගිල්ලට නැඟීමට පියගැටපෙළ පිහිටියේ ඊශාන දිසාවෙනි. එය දෙපස අලංකාර කැටයමින් යුතු ශෛලමය කොරවක් ගල් දෙකකි. සෙල්ලිපි සාධක අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී මුහුන්තරුව නමින් හැඳින්වුණු මෙම ස්ථානයේ මිරිසපිටි විහාරය නමින් රාජමහා විහාරයක් පැවැති බවයි. අද දළදා මාලිගාව ලෙස හඳුන්වන මෙය එම විහාරයේ තිබූ ගොඩනැගිල්ලකින් ශේෂ වූවක් විය හැකිය.

මෙහි ඇති ගොඩනැගිලි සිය ගණනක් වූ සංඝයා වහන්සේලාගේ ආරාම වූ බව සැලකෙයි. වර්තමානයේ පඬුවස්නුවර පුරාණ විහාරස්ථානය හෙවත් පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම රජමහා විහාරාධිපති වශයෙන් දේවමැදිහත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උහන්ගොඩ රතනසාර නාහිමි ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරති.

වාරියපොළ නගරයේ සිට හලාවත මාර්ගයේ සැතපුම් 12 ක් පමණ දුරක් ගමන් කර කොටම්පිටිය හන්දියට පැමිණීමෙන් මෙම ඓතිහාසික පඬුවස්නුවර පුරාවිද්‍යා භූමියට හා විහාරස්ථානයට යාමට හැකි වෙයි.

ඡායාරූප සහ සටහන

කටුපොත විශේෂ බී. ඒ. එන්. ශාන්ත කුමාර

 


නව අදහස දක්වන්න

Or log in with...